Home Sport 2022ට දක්ෂයන් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුමක්

2022ට දක්ෂයන් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුමක්

128
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අවුරුදු 15න් පහළ අන්තර් දිස්ත්‍රික් සහ අන්තර් පළාත් තරගාවලියන්හි දස්කම් දැක්වූ ක්‍රීඩකයන් 54දෙනෙකු මේ වැඩසටහන් ඇතුළත්ව සිටිති. අදියර 2ක් යටතේ ක්‍රියාත්මක වැඩ සටහනේ පළමු අදියර, ක්‍රීඩකයින් 35 දෙනෙකුගේ සහභාගිත්වයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත්, දෙවැනි අදියර මහනුවර, මාතලේ, යාපනය, අනුරාධපුරය සහ මඩකලපුව යන ප්‍රදේශවල ක්‍රීඩකයන් 19 දෙනෙකු‌ගේ සහභාගිත්වයෙන් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් ආරම්භ කර තිබේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර ඇති ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී ටිම් මැක්කැස්කිල් මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා හිටපු ක්‍රිකට් නායකයකු වන අනුර තෙන්නකෝන් මහතා පත් කර තිබේ. ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ සේවයේ නියුතු රෝයි ඩයස්, සුමිත්‍ර වර්ණකුලසූරිය, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ ධම්මික සුදර්ශන මෙහි පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති.

මේ පුහුණු සංචිතයට අයත් සියළු ක්‍රීඩකයන්ගේ තොරතුරු රැස්කිරීම මෙන්ම ක්‍රීඩක දක්ෂතා සහ දුර්වලතා ගොනුකිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බුද්ධි කේන්ද්‍රය මගින් සිදුකර අතර තෝරා ගන්නා ක්‍රීඩකයන් 54 දෙනා ප්‍රථමයෙන්ම හය මසක පුහුණුවකට සහ දැනුවත් කිරීමේ වැඩ සටහනකට යොමු කරයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩා මෙවලම්, නවාතැන් ඇතුළු සියළුම පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙනු ඇත.

මේ වැඩසටහන පිළිබඳ අදහස් දක්වන ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රධානී ටිම් මැක්කැස්කිල් මහතා පවසන්නේ ක්‍රීඩාංගණය තුළ මෙන්ම ඉන් පිටත දේවල් පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කරන අතර වැඩසටහන හරහා ක්‍රීඩකයන්ගේ අනාගතය සාර්ථක කිරීම මූලිකවම සිදු වන බවයි. ක්‍රීඩකයන්ට ලැබෙන පුහුණුව ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා දිවියට වැඩි දායකත්වයක් සපයන අතර පන්දුවේ වේගයට හෝ දඟ කැවීමට අනුව පන්දුව තෝරා බේරාගනිමින් පහර දෙන්නේ කෙසේද යන්න හරිම අදහසක් ලබා දීමද සිදු වෙයි.

ක්‍රීඩකයන්ට පන්දු රැකීම මෙන්ම ආහාර රටාව හුරුවීම වැනි දේවල්ද මෙහිදී දැනුවත් කරන අතර එමගින් ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධව ඔවුන් තුළම විශ්වාසයක් ගොඩ නැංවීමත් ඒ තුළින් ඔවුන්ට තරගයකට හැඩගැසෙන ආකාරය පිළිබඳ අවබෝධය ලබාදීමත් සිදු කෙරේ.