Home Local අර්බුදයට සමාගම් අටකින් විසඳුම් ඉදිරිපත් කරමින් ඒකාබද්ධ නිවේදනයක්

අර්බුදයට සමාගම් අටකින් විසඳුම් ඉදිරිපත් කරමින් ඒකාබද්ධ නිවේදනයක්

193
0

ජීවිත හා දේපළ විනාශ කෙරෙමින් සමාජීය හා දේශපාලන අර්බුදයක් බවට පත්වන ආර්ථික අර්බුදයට හොඳ ම විසඳුම ආර්ථික යාන්ත්‍රණය පෙරට වඩා වේගවත් කිරීම පමණක් යැයි ද ඒ සඳහා පාලකයන්ගේ මෙන් ම සමස්ත ජනයාගේ කැපවීම සීයට සීයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද නිෂ්පාදන, සේවා, අපනයන සහ සැපයුම් යන අංශ නියෝජනය කරන සංගම් අටක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලැබුණත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට විදේශ විනිමය ද අත්‍යවශ්‍ය යැයි ද ආර්ථික යාන්ත්‍රණය අඛණ්ඩව දියත් කළ හැක්කේ ආරක්ෂිත පරිසරයක් තුළ සේවය සහතික කිරීමෙන් බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි එම නිවේදනයේ සඳහන් වේ.

ලංකා රබර් භාණ්ඩ නිෂ්පාදන සහ අපනයනකරුවන්ගේ සංගමය, කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය, ශ්‍රී ලංකා කාර්ය උපාය ගුවන් සහ නැව් භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා රේගු නිෂ්කාශන නියෝජිත සංගමය, බහාලුම් ප්‍රවාහකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ආනයන අපනයන නැව්ගත කරන්නන්ගේ සභාව ඒකාබද්ධව මෙම නිවේදනය යොමුකර ඇත. උද්ගතව ඇති දැඩි අවිනිශ්චිතභාවය දළ දේශීය නිෂ්පාදනයෙහි ගාමක බලවේගය වන පෞද්ගලික අංශයට ඉතා නරක ලෙස බලපා ඇති නමුත් එම තත්ත්වය තුළ පවා පෞද්ගලික අංශය ආර්ථික යාන්ත්‍රණය සක්‍රියව පවත්වා ගැනීමට බලවත් වෑයමක් දරමින් සිටින්නේ යැයි ඔවුහු පවසති.

ශ්‍රී ලංකාව දැඩිව ආනයන මත රඳා පවතින රටක් බැවින් සැලකිය යුතු විදේශ විනිමයක් ඒ සඳහා උපයාගත යුතු යැයි ද යම් හෝ සහනයක් සලසා ගැනීමට අවශ්‍ය නම් ආර්ථික යාන්ත්‍රණය සක්‍රියව පවත්වාගත යුතු යැයි ද එම සංගම් සිය නිවේදනයෙන් අවධාරණය කරයි.

රටට අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් හා ඉන්ධනවල දැඩි හිඟයක් පවතින්නේ යැයි ද රටේ දැනට පවතින ද්‍රවශීල විදේශ සංචිතය ඩොලර් මිලියන 50 දක්වා පහළ බැස ඇති බැවින් මේ සම්බන්ධයෙන් සියලු දෙනා බරපතළ ලෙස සිතිය යුතු යැයි ද එම නිවේදනයෙහි වැඩිදුරට ත් සඳහන් වේ.