Home Local පුංචි විරෝධයක් ආණ්ඩු පෙරලෙන්නට, උස් තැන්වලට ඇහෙන මහා විරෝධයක් වූ හැටි!

පුංචි විරෝධයක් ආණ්ඩු පෙරලෙන්නට, උස් තැන්වලට ඇහෙන මහා විරෝධයක් වූ හැටි!

How a little protest grew to a loud people’s #roar

970
0

පුංචි විරෝධයක්; උස් තැන්වලට ඇහෙන මහා විරෝධයක් වූ හැටි!

«2022 මැයි 20දින Daily Mirror පුවත්පතට කමන්ති වික්‍රමසිංහ විසින් ලියූ “How a little protest grew to a loud people’s #roar” ලිපියේ සිංහල පරිවර්තනය.»

2019 දී ශ්‍රී ලාංකික පුරවැසියන් ගෝඨාභය රාජපක්ෂ පාලනය සඳහා තෝරා පත් කර ගත්තේ ඔහුගේ සෞභාග්‍යය සඳහා වූ ප්‍රතිපත්ති ප්‍රකාශය කෙරෙහි විශ්වාසය තබමින් ජාතික ආරක්ෂාව ස්ථාපිත කිරීමේ සහතිකය මත පදනම් වූ බලාපොරොත්තු ඇතිවය. ඉන් වසර දෙකකට පසු තෙල්, ගෑස්, කිරිපිටි පෝලිම්වල රස්තියාදු වෙද්දී මේ ආණ්ඩුව ගැන ජනතාව බලාපොරොත්තු සුන් වී ඇත. දේශපාලකයින් දිගින් දිගටම මිනිසුන්ව සුළු සැලකූ විට, ජනතාව වඩාත් කලකිරීමට පත් වූ අතර අවසානයේ ඔවුන් පාරට බැස තම කෝපය හා කලකිරීම ප්‍රකාශ කිරීමට තීරණය කළහ. ඔවුන්ගේ සුළු ප්‍රතිරෝධය විශාල විරෝධයක් දක්වා විහිද ගියේය. දැන් ගාලුමුවදොර පිටියේ විරෝධතාවය නිසා හිටපු අගමැතිගේ ඉල්ලා අස්වීම ඇතුළු ප්‍රතිඵල කිහිපයක් ගෙන ආවේය.

මේ ඔවුන්ගේ කතාවයි.

■ කොහුවල නිහඬ විරෝධතාවය

කොහුවල විරෝධතාව ආරම්භ වූයේ මාර්තු 01 වැනි දින ඉටිපන්දම් දැල්වීමක් ලෙස වන අතර එහිදී විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ සහිත පුවරු අල්ලාගෙන සිටියහ. “ඒ වන විට පැය 10ක විදුලිය විසන්ධි වී ජනතාව විශාල ලෙස අපහසුතාවයට පත් කළා,” කොහුවල විරෝධතාවයේ පුරෝගාමියෙකු වන විමුක්ති දුෂාන්ත අප සමඟ අදහස් පළ කළේය. “ගෙවුම් ශේෂ අර්බුදය සහ විදේශ විණිමය අහිමි වීම නිසා ආර්ථිකය බිඳ වැටෙමින් තිබුණේ. රටට විදේශ විනිමය ගෙන ආ ප්‍රධාන කර්මාන්තයක් වූයේ තොරතුරු තාක්ෂණ අංශයයි. අඛණ්ඩ විදුලිය විසන්ධි වීම හේතුවෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත පිරිස් දැඩි අපහසුතාවට පත්වුණා. මෙවැනි හේතු නිසා ඉදිරියේදී ඇති විය හැකි ආර්ථික අර්බුදය පාලනය කිරීමට රජයට නොහැකි බව අපි දැන සිටියා. ඒ වගේම විපක්ෂය ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ නෑ. ඒ නිසා පුරවැසියන් ලෙස අපේ විරෝධය පෙන්වන්නේ කොහොමද කියලා අපි කල්පනා කළා. සාමාන්‍යයෙන් උද්ඝෝෂණයක් හෝ විරෝධතාවක් සංවිධානය කරන්නේ දේශපාලන පක්ෂයක් විසිනි. මුලදී අපි විරෝධතා පුවරු සමඟ පාරේ සිටගෙන සිටින විට, සෙසු පුරවැසියන්ට එය විහිළුවක් ලෙස පෙනුණා. පළවෙනි දවසේ අපි හය දෙනෙක් විතර හිටියා. ඒත් දෙවැනි දවසේදී 50ක් විතර හිටියා. මේක දිගටම වර්ධනය වුණා. සති දෙකකට පසු අගනුවර ප්‍රධාන නගර වල නිහඬ විරෝධතා පැවැත් වුණා. ඊට පස්සේ රට පුරා ප්‍රධාන නගර දක්වා ව්‍යාප්ත වුණා. මේ සියල්ල සංවිධානය කළේ ජනතාවයි. ඕනෑම කෙනකුට ඔහුගේ හෝ ඇයගේ දේශපාලන අභිමතයන් තිබිය හැකිය. ජනාධිපතිවරයාට ගෙදර යන්නැයි කීම දේශපාලන ප්‍රකාශයක්. ජනතා විරෝධය නිර්දේශපාලනික ලෙස හැඳින්වීම වැරදියි. කොහුවල විරෝධතාවය මේ රටේ පුරවැසි දේශපාලනයේ ආරම්භය කියලා මම විශ්වාස කරනවා.” විමුක්ති පැවසීය.

■ කොහුවල සිට මිරිහාන සහ ගාලු මුවදොර දක්වා

මිරිහාන ප්‍රදේශයේ අවාසනාවන්ත සිදුවීම සිදු වනතුරු මාසයක පමණ කාලයක් නිහඬ උද්ඝෝෂණ සහ සාමකාමී උද්ඝෝෂණ පැවැත්විණි. බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න යනු පාලන ව්‍යූහය ගැන නොසතුටෙන් සිටි එක් අයෙකි. “ආණ්ඩුව ගැන කළකිරීම නිසා, මම නිවසින් පිටතට ගොස් තනිවම හෝ විරෝධතාවක් දැක්වීමට තීරණය කළා,” කරුණාරත්න ඩේලි මිරර් වෙත පැවසීය. “දිගටම විදුලිය විසන්ධි වෙන නිසා මම තනියම උද්ඝෝෂණයක් කරනව කියලත් අනිත් අයටත් ඒක කරන්න කියල ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් දැම්මා. පැය කිහිපයක් ඇතුළත මට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඒ මිරිහාන සිද්ධියට දින දෙකකට පෙරය. පසුදා විහාර මහා දේවී උද්‍යානයේ විරෝධතාව පැවැත්වීමට මා තීරණය කළ අතර මා කළේ වේලාව හා ස්ථානය පළ කිරීම පමණි. මම හිතුවේ 50ක් විතර එයි කියලා. නමුත් 400ක් පමණ ඔවුන්ගේම සටන් පාඨ පුවරු වල ලියාගෙන ඇවිත් තිබුණා. මට මූලිකත්වය ගන්න අදහසක් තිබුණේ නැහැ, නමුත් මම කතාවක් කළා. ඉන් අනතුරුව අපි නෙළුම් පොකුණ දක්වා විරෝධතා පා ගමනක් ගොස් එහි විරෝධතාව සිදුකළා. ඊට පසුදා මිරිහානේ උද්ඝෝෂණයට යන්න අපි තීරණය කළා. නමුත් අපි හැමවිටම ජනතාවට කිව්වේ ළඟම තියෙන විරෝධතාවයට සහභාගි වෙලා තමන්ගේ ගැටලු ප්‍රකාශ කරන්න කියලා.

“ඇමතිවරුන් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සුළු කොට තැබූ ආකාරය දැකීම ඉතාම කළකිරෙන දෙයක්,” කරුණාරත්න තවදුරටත් පැවසීය. “ඔවුන් (දේශපාලකයන්) අපව විහිළුවකට ගෙන ගිය අතර මෙය මගේ පෙළඹවීමේ ලක්ෂ්‍යය වුණා. මිරිහාන සිදුවීම සුවිශේෂී එකක්. ඇතැම් අවාසනාවන්ත සිදුවීම් ද සිදු වූ නමුත් වැඩ නිමවීමෙන් පසු මෙම විරෝධතාවලට සහභාගි වූයේ කාර්යාල ගිය පිරිසෙන් බහුතරයක්. මෙම උද්ඝෝෂණවලට සහභාගි වූ ඇතැම් පිරිස් විදුලිය විසන්ධිවීම් ආදියෙන් පීඩාවට පත් නොවූ නමුත් ඔවුන් සෙසු ජනතාවට සහය පල කළා. මේ සියලු දෙනා එකතු වුණේ ආණ්ඩුවේ නොහැකියාව නිසා ඔවුන් අපහසුතාවයට පත් වූ නිසයි. තම අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ කිරීමට බිය නොවිය යුතු බව ජනතාව සිතුවා. ගාලුමුවදොර විරෝධතාවයේ ආරම්භක දිනය අප්‍රේල් 9 වනදා. එදා ඉඳලා එතැන අරගලය දිගටම කරගෙන යාමට අපට හැකි වුණා. ඉතින් මේ අරගලයේ පුරෝගාමීන් ඇත්තටම මේ රටේ පාලකයන්.” කරුණාරත්න කීවේය.

■ මැයි 9 සහ ඉන් පසු

ගාලුමුවදොර පිටියේ විරෝධතාව ‘ගෝඨාගෝගම’ දක්වා ව්‍යාප්ත වූ අතර එය දැන් ජනතාවට ‘වෙනස වෙනුවෙන් හඬක් නැගීමට’ අවකාශයක් වී තිබේ. එහෙත් මැයි 9 දා සිදු වූ ප්‍රචණ්ඩත්වයෙන් පසු විරෝධතාකරුවන් තම ඉලක්කය සපුරා ගැනීමට අදිටන් කරගෙන සිටිති. “මැයි 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු ඇතැමුන්ගේ අදහස වී ඇත්තේ මෙම විරෝධතාව ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද්දක් බවයි.

“අනිත් අය හිතන්නේ ඒක කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තරේ කියලා. රනිල් වික්‍රමසිංහ කමිටුවක් පත්කිරීමත් එක්ක දැන් එයාලා හිතනවා ඔහු උද්ඝෝෂණයට අරමුදල් සපයනවා කියලා,” දුෂාන්තගේ අදහසයි. “මුලදී මෙය ක්‍රිස්තියානි සහ කතෝලික පල්ලිවලින් අරමුදල් සපයන බවට මිථ්‍යාවක් තිබුණා. පාස්කු ඉරිදා අනුස්මරණ උත්සව වල සිට පසුගිය වෙසක් උත්සවය දක්වා මෙම විරෝධතා භූමියේ බොහෝ වැඩසටහන් සංවිධානය කරලා තියනවා. බොහෝ මාධ්‍ය නාලිකා සමාජයේ දන්න මුහුණු වලට ප්‍රචාරයක් දෙනවා. විරෝධතාව සම්බන්ධයෙන් සාමාන්‍ය පුරවැසියන්ගෙන් ප්‍රශ්න කරන්නේ නෑ. ඒ නිසා නිරූපණය වන ප්‍රතිරූපය තමයි මේක සම්පූර්ණයෙන්ම දේශපාලන විරෝධයක් කියන එක. නමුත් ඔබ භූමියට පැමිණි විට ඔබට යථාර්ථය දැක ගත හැකිය. නව අග්‍රාමාත්‍යවරයාට උද්ඝෝෂණ භූමිය සුමටව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අවශ්‍ය වෙන්නේ නෑ. අපි මේ විරෝධතාව මාසයකට වැඩි කාලයක් දේශපාලන පක්‍ෂවලින් කිසිම සහයෝගයක් නැතිව දිගටම කරගෙන ගියා. අපට පහසුකම් අවශ්‍ය වන්නේ හෝ භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීමට අවශ්‍ය නෑ. අනෙක් අතට අපේ මූලික ඉල්ලීම වෙන ගෝඨා ගෝ හෝම් කියන එක ගැන තවදුරටත් සාකච්ඡා කරන්න දෙයක් නැහැ.” විමුක්ති පැවසීය.

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් වූ පසු විරෝධතාව අවසන් කරන්නේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරන බවයි කරුණාරත්න ප්‍රකාශ කළේ. “නමුත් නව අගමැතිවරයෙකු පත් වූ පමණින් ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස ඉල්ලා කරන අරගලයක් අවසන් වන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය, ආර්ථික සහ සමාජීය ප්‍රතිසංස්කරණ ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳව විරෝධතාකරුවන් දැනටමත් සාකච්ඡා කරමින් සිටිනවා. මේ විරෝධතාව හුදු සටන් පාඨ කීමක් පමණක් නොවේ.

■ වින්දිතයින්ට යුක්තිය ඉටු වේවිද?

ගාලු මුවදොර විරෝධතාව ආරම්භ වී මැයි 9 වැනිදාට මාසයකි. “මැයි 9 වෙනිදා අපි දැක්කේ රාජ්‍ය අනුග්‍රහය ලබන ප්‍රචණ්ඩත්වය,” කරුණාරත්න වැඩිදුරටත් පැවසීය. ගාලුමුවදොර පිටියට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රට පුරා ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇති විය. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ජනතාව සිය කෝපය පළ කළේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එක් වරක් හෝ ගාලු මුවදොරට පැමිණ ඇති බැවිනි. නමුත් ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහර දෙන විට සෙසු පුරවැසියන්ගේ ප්‍රතිචාරය දැකීමට රජයට අවශ්‍ය වුණා ද යන්නත් එය ඔවුන්ගේ සැලසුමේ කොටසක්ද යන්නත් අපට සැකයක්.” කරුණාරත්න පැවසීය.

“මැරයන්ට සහය දෙන්නැයි පොලිසියට නියෝග දුන් පුද්ගලයා තමයි දැන් පරීක්ෂණ මෙහෙයවන්නේ. යමෙක් තමාට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන විට අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවන්නේ කෙසේද? මේ පරීක්ෂණවලින් යුක්තිය ඉටු නොවන බව අපි දන්නවා. නමුත් අපි යුක්තිය වෙනුවෙන් සටන් කරනවා. අප ඉල්ලා සිටින්නේ ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක්. ඔවුන් දැන් අත්අඩංගුවට ගන්නේ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ නැති අයයි. ඇතැමුන් ප්‍රශ්න කරනු ලබන්නේ ‘ගිනි තැබීමේ විමර්ශනවල’ කොටසක් ලෙස යි. ඒ නිසා යුක්තිය ඉටුකරන මුවාවෙන් පොලිසිය ආණ්ඩුවේ න්‍යාය පත්‍රවලට ඉන්ධන සපයනවා. හිටපු අගමැතිතුමාගේ සිට සියලු දෙනා අත්අඩංගුවට ගත යුතුයි” දුෂාන්ත අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් වුවද ඔහු ජනාධිපතිවරයා සහ රාජපක්ෂවරුන් ආරක්ෂා කරන බව ඉතා පැහැදිලි බව ඔහු වැඩිදුරටත් පැවසීය. “ජනාධිපතිවරයා ඉවත් වන්නේ කවදාද යන්න පිළිබඳව ඔහු මෙතෙක් කාලසටහනක් ලබා දී නැත. ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට සහ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා එකඟ වී ඇත්නම් මෙම වෙනස්කම් සිදු කරන්නේ කවදාද යන්න පිළිබඳව ඔහු හෝ අගමැතිවරයා නිශ්චිතව කිව යුතුය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් තවත් එවැනිම පාලකයෙකු බලයට පත්වීම වැළැක්විය හැකිය. අපි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව තවදුරටත් අපහසුතාවයට පත් කිරීම නවත්වන්න කියලා. එහෙම නොවුණොත් එතුමාටත් ඉවත් වෙන්න කියලා ජනතාව පාරට බහිනවා. පාර්ලිමේන්තුවේ 225 දෙනා ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කර පාර්ලිමේන්තුව තුළ වෙනසක් ඇති කිරීමට උත්සාහ කළ යුතුයි. ඔවුන් පාර්ලිමේන්තුවේ කපුටු කාක් කාක් (කපුටා නඟන සද්දය) කියා බෝඩ් ලෑලි අල්ලාගෙන පුරවැසියන් කරන දේ නැවත ප්‍රකාශ කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නේ නෑ. පුරවැසියන් දේශපාලකයන්ට තම ජනවරම ලබා දී ඇති අතර දැන් ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීම ඔවුන්ගේ යුතුකමයි, ”දුෂාන්ත සිය අවසන් කතාවේදී අවධාරණය කළේය.