Home Local News Room : ‘හතේ අපේ පොත’ අලුත විවාහපත් වන අයට ත්

News Room : ‘හතේ අපේ පොත’ අලුත විවාහපත් වන අයට ත්

0
0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සෞඛ්‍ය සන්නිවේදන සහ ජීවන නිපුණතා ඒකකය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වී සකස් කළ ‘හතේ අපේ පොත’ නැවත පාසල් දරුවන්ට ලබා දීමේදී එකී ප්‍රමුඛතාවයෙන් ම යුතුව අලුත විවාහපත් වූවන්ට ද ලබා දීමට, “ළමයින් සඳහා වන පාර්ලිමේන්තු” සංසදය තීරණය කර ඇත.

දරුවන් සේ ම මවුපියන් ද ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් දැනුවත් වීමේ වැදගත්කම පදනම් කරගෙන මෙම තීරණය ගැනීමට සංසදය කටයුතු කළේ යැයි එහි සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ‘ඉරිදා මව්බිම’ට පැවසුවා ය.

ඒ අනුව, පවුල් සෞඛ්‍ය සේවා කාර්යාල හරහා එකී පොත බෙදාහැරීම සහ දැනුවත් කිරීම් කළ හැකි යැයි ද විජේරත්න මහත්මිය අවධාරණය කළා ය.

පාසල් සිසු සිසුවියන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙන් සකස් කර පාසල් සහ පෙළපොත් බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත බෙදා හරිනු ලැබ තිබූ මෙම කෘතිය සමාජයේ කිසියම් කණ්ඩායමකින් එල්ල වූ විරෝධය මත අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා විසින් ම 2019 වසරේදී බෙදා හැරීම අත්හිටුවනු ලැබිණි.

ඒ අනුව, එතෙක් බෙදාහරින ලද ‘හතේ අපේ පොතේ‘ සියලු පිටපත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලොරිවලට ලබාදෙන ලෙසත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් උපදෙස් දී තිබිණි.

ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව සකස් කරන ලද “හතේ අපේ පොත” නැවත සිසුන් අතට පත්කළ යුතු බව ත්, ලිංගික දැනුම හා ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධ පොත් සකස් කරන ලෙස ත්, ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

ඒ අනුව සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ළමයින් සම්බන්ධ විවිධ ආයතන නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් විසින් මෙම කටයුතු සිදුකරනු ලැබිය යුතු බවට ද යෝජනා විය.

එම කමිටුව මාස තුනක් ඇතුළත අදාළ කාර්යය අවසන් කළ යුතු යැයි ද ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබිණි.

පෙළ පොත් මුද්‍රණය සඳහා මෙම අවස්ථාවේ මුදල් වැය කිරීම අපහසු හෙයින් පළමු අදියරේදී පෙළ පොත් මුද්‍රණය නොකළ ද ඉන්ටර්නෙට් හරහා සිසුන්ට අදාළ පොත පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බව එම සංසදය සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here