Home Local News Room : “භාෂණයේ නිදහස අවභාවිත කරමින් ආගම් භේද හදන්න දෙන්න බැහැ”...

News Room : “භාෂණයේ නිදහස අවභාවිත කරමින් ආගම් භේද හදන්න දෙන්න බැහැ” – ආචාර්ය විජයදාස රාජපක්‍ෂ

4
0

භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවභාවිත කරමින් ආගම් අතර හෝ ජන වර්ග භේදභින්න කරන පුද්ගලයන්ට එරෙහිව උපරිම දඬුවම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පැවසීය.

එවැනි කටයුතුවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය හා ජාත්‍යන්තර පිළිගත් දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව දඬුවම් ලබා දිය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, මෙරට අධිකරණ මගින් ඔවුන්ට වසර දෙකේ සිට වසර දහය දක්වා සිර දඬුවම් ලබා දීමට හැකියාව ඇති බව ද ඔහු පැවසීය.

මෙවැනි ප්‍රකාශ නිසා ජාතීන් අතර, ආගම් අතර විරසකයක් ඇති වන බවට පෙනී යන අවස්ථාවක පැමිණිල්ලක් නොමැතිව වුව ද මීට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට බලය තිබෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාව යනු බහුආගමික, බහුජාතික රටක් බවත් ඔවුන්ට භාෂණයේ නිදහස මෙන් ම අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු බෙදා හැරීමේ නිදහස මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මෙම නිදහස අවභාවිත කරමින් ඇතැම් පුද්ගලයන් ජාතීන් අතර හා ආගම් අතර ගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කරමින් තිබෙන අයුරු පෙනෙන්නට තිබෙන බව ද එය ඉතා ඛේදනීය හා බරපතළ ගැටලුවක් බව ද පැවසීය.

මෙවැනි පුද්ගලයන් මේ සඳහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගි කරගන්නා අයුරු පසුගිය කාලය පුරාවට ම දක්නට ලැබුණු බව ද මෙම මාධ්‍ය ජාලා හරහා සිදු කරනු ලබන ද්වේෂසහගත ප්‍රචාර හේතුවෙන් ජාතික, ආගම් අතර ගැටුම්වලට අමතරව දිවි නසා ගැනීම් පවා සිදුව ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මෙවැනි ද්වේෂසහගත ප්‍රකාශ කරන පුද්ගලයන්ට විදේශ රටවලින් මුදල් ලැබෙන බවට තොරතුරු ලැබී ඇති බව ද ඇතැම් භික්‍ෂුන් වහන්සේලා ද එසේ මුදල් ලබා ගනිමින් බුදු දහම විනාශ කිරීමට සූක්‍ෂ්ම හා කුමන්ත්‍රණකාරී ලෙස පෙලැඹී ඇති අයුරු දක්නට ලැබෙන බව ද ඔහු පැවසීය.

ජාතීන් අතර හා ආගම් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව සංහිඳියා යාන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකා රාජ්‍ය බිඳ දැමීම සඳහා ජාත්‍යන්තර හා දේශීය වශයෙන් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බැවින් ඒවාට හසු නොවන ලෙස තමා මෙරට සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාතීන්ගේ අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ගත යුතු ක්‍රියාදාමය කුමක් ද යන්න පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශයේ ඊයේ (මැයි 30) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here