Home Local News Room : ‘බිළිඳුන් භාර ගැනීමේ කවුළුව’ දණ්ඩ නීති සංග්‍රහයෙන් වැසේ

News Room : ‘බිළිඳුන් භාර ගැනීමේ කවුළුව’ දණ්ඩ නීති සංග්‍රහයෙන් වැසේ

2
0

ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් “බිළිඳුන් භාර ගැනීමේ කවුළු” ආරම්භ කිරීමේ වැඩසටහන දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියක් හේතුවෙන් තාවකාලිකව නතර කර දමා ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය බාධා කිහිපයක් මතු වී ඇති බව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවේ අධිකරණ ඇමතිවරයා සඳහන් කර ඇති බව ද හෙතෙම කීය.

රට තුළ දරුවෙකු අතහැර දමා යාම දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදක් යැයි සඳහන් කර ඇති දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තිය සංශෝධනය කිරීම සඳහා කටයුතු කිරීමට මේ වන විටත් කමිටුවක් පත්කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.

දණ්ඩ නීති සංග්‍රහයට අනුව රට තුළ දරුවෙකු අතහැර දමා යාම දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදක් ලෙස හඳුන්වා දී තිබෙන පසුබිමක මෙලෙස “බිළිඳුන් භාර ගැනීමේ කවුළු” ආරම්භ කිරිමෙන් ගැටලු රාශියක් නිර්මාණය වන බවත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා යම් ආකාරයකින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරනු ලැබුවහොත් බරපතළ තත්ත්වයක් උද්ගතවනු ඇති බවත් ඔහු පැවසීය.

මේ කරුණ 2020 වර්ෂයේ ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නමුත් කිසිදු පිළිතුරක් ඒ සඳහා නොලැබුණු බවත් මෙවර ද එම තත්ත්වය අනිවාර්යෙන් ම සිදුවන බව ත් ඔහු සඳහන් කළේ ය.

“අලුත උපන් බිළිඳුන් භාර ගැනීමේ කවුළු” ආරම්භ කිරීමේ වැඩසටහන දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියක් හේතුවෙන් අතරමග නතර වී නොමැති නමුත් ඊට යම් බාධාවන් කිහිපයක් එල්ල වී ඇතැයි මේ සම්බන්ධයෙන් ‘ඉරිදා මව්බිම’ කළ විමසීමේදී ජාතික ළමාආරක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන අවස්ථාවේදී අධිකරණ අමාත්‍යවරයාගේ මතය වූයේ දරුවන් මහමඟ දමා යාම අපරාධමය වරදක් වීම ගැටලුවක් බව ත් සැබැවින් ම එම නීතිය සංශෝධනය කිරීම ඉතා සංවේදී වනු ඇති බැව් එහිදී සාකච්ඡා වූ බවත් හෙතෙම කීය.

මෙම කටයුත්ත සිදුකිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සකස් කර ගැනීමට හා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට අවශ්‍යද යන්න විමසීමට අධිකරණ ඇමතිවරයා කමිටුවක් පත්කර ඇති බවද ඔහු සඳහන් කළේ ය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 2022 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් සකස් කළ බව ත් පසුගිය සමයේ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිවරියගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක කළ බව ත් ඔහු පැවසීය.

සංඛ්‍යා දත්තවලට අනුව වර්ෂයක් තුළ දිවයින පුරා විවිධ ප්‍රදේශවල අලුත උපන් බිලිඳුන් 300ක් පමණ මහමග දමා යන බවත් මේ සඳහා විසඳුමක් වශයෙන් මෙම තීරණය ගෙන ඇති බව ත් ඔහු පැවසීය.

මේ සියලු කාරණා සම්බන්ධයෙන් කරුණු විමසා බලා දරුවන්ගේ ආරක්ෂාවට සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවධානය යොමු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව පළාත් නවයෙහි බිළිඳුන් භාර ගැනීමේ කවුළු ස්ථාපනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යෝජනාවක් විය.

සෞභාග්‍යයේ දැක්ම අරමුණු ඉෂ්ට කරලීමේ එක් ප්‍රවේශයක් වශයෙන් විවිධ ස්ථානවල අතහැර යන අලුත උපන් බිළිඳුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සම්බන්ධයෙන් කටයුතු කිරීමට බිළිඳුන් භාර ගැනීමේ කවුළු ස්ථාපනය කිරීමට නියමිතව තිබිණි.

මෙම කවුළු සෞඛ්‍ය අමාත්‍යංශය සමග ප්‍රධාන රෝහල්වල ස්ථාපිත කිරීමට රජය බලාපොරොත්තු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here