Home Sport News Room : ශ්‍රී ලංකා-නවසීලන්ත ගාලු ටෙස්ට් තරගය අද ඇරඹේ

News Room : ශ්‍රී ලංකා-නවසීලන්ත ගාලු ටෙස්ට් තරගය අද ඇරඹේ

0
0

සංචාරක නවසීලන්ත පිල සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග දෙකකින් සමන්විත මේ තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය දෙපිලටම වැදගත් බැවින් ගාලු තණතිල්ලට අනුව උපක්‍රම රැසක් ක්‍රියාත්මක කිරීම සැලසුම වේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් වන මේ තරගාවලියට එක්වන නවසීලන්ත පිල ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති එකම ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා ශ්‍රී ලංකාවට පැමිණි අතර, ශ්‍රී ලංකාව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස නිමාකොට මේ තරගාවලියට මුහුණ දේ.

එංගලන්ත සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා සංචිතයේ ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක, මඳ වේග පන්දු යවන කසුන් රාජිත හා නිසල තාරක මෙවර සංචිතයෙන් ඉවත් කොට ඇත.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය මහතා පැවසුවේ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරණ අනුපිළිවෙළේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවයි. මේ තත්ත්වය මත මෙතෙක් අංක 7 ස්ථානයේ සිටි කමිඳු මෙන්ඩිස් අංක පහ ස්ථානය දක්වා උසස්වීමක් ලබනු ඇති අතර, වසර ගණනාවකට පසු දිනේෂ් චන්දිමාල් අංක තුන ස්ථානයට කැඳවා ඇත. “චන්දිමාල් කඩුලු රකින්නකු හැටියට මේ තරගයේදී එක්වන්නේ නෑ. ඔහු පිතිකරුවකු ලෙස කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. සියලු දෙනා සමඟ සාකච්ඡා කොට අපි කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙළ වෙනස් කළා” අන්තර්වාර පුහුණුකරු සනත් ජයසුරිය මහතා පැවසීය.

මේ අනුව මෙතෙක් අංක තුන ස්ථානයේ පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් තීරණාත්මක අංක තුනේ ස්ථානයෙන් ඉවත්කොට මැද පෙළට තල්ලු කොට ඇති අතර, කමිඳු මෙන්ඩිස් අංක 5 ස්ථානයට ඉතාම පරිස්සමෙන් ස්ථානගත කොට ඇත. “කමිඳු මෙන්ඩිස් වගේ කෙනෙක් හදිසියේ අංක තුනට ගේන්න බැහැ. ඔහු මැද පෙළ ක්‍රීඩා කරනවා” යැයි ජයසූරිය පැවසුවේ කුසල් මෙන්ඩිස්ට ඔහුගේ නව භූමිකාව තුළ සාර්ථකවීමට කාලය ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය කරමිනි.

“අත්දැකීම් බහුල දිනේෂ් චන්දිමාල් අංක තුන ස්ථානයට පැමිණීමට එකඟ වුණා. මේ වගකීම භාර ගැනීමට චන්දිමාල් කැමැතිවීම පිළිබඳ ඔහුට ස්තූතිවන්ත විය යුතුයි. කඩුලු රකින ක්‍රීඩකයකුට අංක තුන ගහන්න බෑ. ඔහු පසුපසින් පන්දුවට පහරදිය යුතුයි. මේ තරගයේදී අපේ ඉන්නේ අත්දැකීම් තියෙන අය. අපි දැනගත යුතුයි කුමක්ද කළ යුත්තේ කියලා” සනත් ජයසූරිය පැවසීය.

පන්දු යැවීම සම්බන්ධයෙන් ගත් කළ, ගාල්ල තණතීරුවට හිතකර දඟ පන්දු බළඇණිය ශක්තිමත් වන අතර, ප්‍රභාත් ජයසූරිය සමඟ රමේෂ් මෙන්ඩිස් දෙවැනි දඟ පන්දු යවන්නා ලෙස ක්‍රීඩා කරයි. ගාල්ලේදී වේගපන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කිරීමට හැකියාවක් නැති බව ජයසූරිය මහතා පැහැදිලි කළ අතර, මේ හේතුවෙන් එංගලන්ත සංචාරයේදී ටෙස්ට් වරම් දිනාගත් වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායකට ස්ථානය අහිමි වනු ඇත. “මිලාන්ට මේ පිළිබඳව පැහැදිලි කළා. කණ්ඩායමේ සමබරතාව වෙනුවෙන් ඔහු ඉවත් කළා. ඇන්ජලෝ මැතිව්ස්ට පන්දු යවන්න බැහැ කියලා නෑ. අවස්ථාව හැටියට ඔහු පන්දු යැවිය යුතුයි” ජයසූරිය මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, ටෙස්ට් තරග 39කදී නවසීලන්තය තරග 18ක් ජයගනිද්දී ශ්‍රී ලංකාව තරග 9ක් ජය වාර්තා කළේය. ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

අද තරගයට එක් වන ශ්‍රී ලංකා පිල: දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු.

ප්‍රින්ස් ගුණසේකර ගාල්ලේ සිට…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here