4
වසර 10කට පසු අමෙරිකාවේ පළමු සරම්ප මරණය වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ටෙක්සාස් ප්‍රාන්තයේ දරුවකු සරම්ප රෝගය උත්සන්න වීමෙන් පෙරේදා ජීවිතක්ෂයට පත්වී ඇති අතර, 2015 වසරෙන් පසු එරටින් වාර්තා වූ පළමු සරම්ප මරණය එය බව අමෙරිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. මේ වන විට ටෙක්සාස් සහ නිව් මෙක්සිකෝ ප්‍රාන්තවල වසංගයක් බවට පත්වී ඇති සරම්ප රෝගය එම ප්‍රාන්තවල පුද්ගලයන් 140කට අධික පිරිසකට වැලඳී ඇතැයි ද වාර්තා වේ.
ජීවිතක්ෂයට පත්වූ දරුවා සරම්ප එන්නත්කරණයට ලක්වී නැති බවත්, බරපතළ ලෙස රෝගාතූර වූ එම දරුවා මිය ගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටියදී බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සරම්ප මරණය වාර්තා වූ ටෙක්සාස් ප්‍රාන්තයේ ළමා රෝහලේ ප්‍රධාන විධායක නිලධාරි ඇමි තොම්සන් ප්‍රකාශ කර ඇත්තේ සරම්ප රෝගය වැලඳුණු බොහෝ දරුවන් ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණෙන බවය. එහෙත් වසංගතය මුල් අදියරේ පවතින බැවින් අවශ්‍ය නිසි ප්‍රතිකාර සහ පහසුකම් ලබාදීමේදී දුෂ්කරතා මතුවී ඇති බවත් ඔහු සඳහන් කර තිබේ. ටෙක්සාස් සහ නිව් මෙක්සිකෝ ප්‍රාන්තවලින් සරම්ප රෝගීන් වාර්තා වුවත්, මේ වන විට තවත් ප්‍රාන්ත 10කට පමණ වසංගතය ව්‍යාප්ත වී ඇතැයි ටෙක්සාස් සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබේ. සරම්ප වසංගතය අමෙරිකාවෙන් තුරන් කළ බවට 2000 දී එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශයට පත් කර තිබූ අතර, මෑත වසර කිහිපය තුළ අමෙරිකාවේ මවුපියන් සිය දරුවන්ට රුබෙල්ලා එන්නත ලබාදීමෙන් වැළකී සිටීම නව ව්‍යාප්තියට හේතු වී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් චෝදනා එල්ල කර ඇතැයි වාර්තා වේ.