උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ මෙහෙයුමේ තොරතුරු ප්‍රමාණයක් අප වෙත වාර්තා වී තිබේ.
මිග් යානා ගනුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී අධිකරණය මඟහරිමින් රටින් පළාගිය උදයංග වීරතුංග මහතාට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි.
ඒ මහතා විදෙස්ගතව සිටිමින්ම මෙම රතු වරෙන්තුව ඉවත් කරවා ගැනීම සඳහා උත්සාහයක නිරත වූයේ පසුගිය රජය සමයේ සිටමය. එහිදී මෙම රතු වරෙන්තුව දේශපාලන පළිගැනීමක් උදෙසා ලබාගත්තක් බව සඳහන් කරමින් ඒ මහතා ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු නමුත් එම ආයතනය විසින් රතු වරෙන්තුව ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී.
2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළියෙන් රාජපක්ෂවරුන් බලය ලබාගත් වහාම ද මෙම රතු වරෙන්තුව ඉවත් කරගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය වෙත ඉල්ලීමක් කර තිබුණු නමුත් එය ද ප්‍රතික්ෂේප විය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසුව නැවත වතාවක් මෙම උත්සාහය දියත් කර ඇති අතර ජාත්‍යන්තර පොලිසිය ඊට ද ප්‍රතිචාර දක්වා තිබුණේ නැත.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවෙහි අධිකරණය විසින් උදයංග වීරතුංග මහතාට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ඉවත් කරගන්නේ නම් ඔහුගේ ජාත්‍යන්තර රතු වරෙන්තුව ද ඉබේම අහෝසි වන නිසා ආණ්ඩුව ඊළඟ උත්සාහය දරා තිබුණේ ඒ වෙනුවෙනි.
ඒ අනුව පසුගිය පෙබරවාරි 10 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න මහතා ඉල්ලා තිබුණේ උදයංග වීරතුංග මහතාට එරෙහි වරෙන්තුව ආපසු කැඳවන ලෙසය.
එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් ගරු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පැහැදිලිවම ප්‍රකාශ කර තිබුණේ ” මේ හදිසියේ ඇයි වරෙන්තු අයින් කරන්න හදන්නෙ ? ඇයි නඩුවේ කරුණු දැන් වෙනස් වෙලාද ? ආණ්ඩු වෙනස් වුණාට නඩුවල කරුණු වෙනස් වෙන්නෙ නෑ. ඒ නිසා මේ වරෙන්තුවත් එහෙමම තියෙනවා, රතු වරෙන්තුවත් එහෙමම තියෙනවා” යනුවෙනි.
වරෙන්තුව පිටින්ම ශ්‍රී ලංකාවට පැමිණ උදයංග වීරතුංග මහතා අත් අඩංගුවට පත්වූයේ මේ සියලු උත්සාහයන් අසාර්ථක වූ පසුවය.