දීපංකර සම්බුදුරජාණන් වහන්සේ රඹගම් නුවරට වැඩමවද්දි අෂ්ට සමාපත්ති උපදවාගෙන සිටි අප මහා බෝසතාණන් වහන්සේ සාදා නිමකිරීමට නොහැකි වූ මහමඟ බිම ඒ දණ්ඩක් බවට පත්කර සිට ඒ බුදුරජුන්ට මලින් පිදූහ. දිවැස් යොමු කළ උන්වහන්සේ ඒ සුමේධ තාපසයාණන් අනාගතයෙහි ගෞතම නමින් බුද්ධත්වයට පත් වන බව නියම කොට ප්‍රථමවරට නියත විවරණ දෙන ලද්දේ වෙසක් පුන් පොහෝ දිනයකය. දසපාරමී ධර්මයන් සම්පූර්ණ කළ බෝසතාණෝ දඹදිව කපිල වස්තු නම් නුවර පාලනය වන විට සුද්ධෝදන රජතුමාගේ අගබිසව වූ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. දස මසක් ඇවෑමෙන් ඒ බෝසතාණන් ලුම්බිණි සල් උයනේ දී මව්කුසින් බිහි වූයේ උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනකය.
මැනවින් හැදුණු වැඩුණු බෝසත් කුමරුට ශිල්ප ශාස්ත්‍ර හදාරා සොළොස්වන වියේ දී යශෝධරා නම් රාජ කුමරිය සරණකොට ගත්තේ ය. විසි නව වන වියේ දී සතරපෙර නිමිති දැක රාහුල කුමරුවන් උපන්දිනය වූ ඇසළ පොහෝ දා මධ්‍යම රාත්‍රියේ දී ගිහි ගෙය හැරගියේ ය. තවුස් වෙස් ගෙන නිවන් සුව ලබා ගැනීමට පිටත් විය. සය අවුරුද්දක් මුළුල්ලේ බලවත් උත්සාහයෙන් දුෂ්කර ක්‍රියාවෙහි යෙදුණු නමුත් එහි නිෂ්ප්‍රයෝජනත්වය පසුව වටහා ගත්තේ ය. අනතුරුව එය මඟහැරදා ගයාවේ ඇසතු බෝ මුල වැඩ සිට මැඳුම් පිළිවෙත අනුගමනය කළ බෝසතාණෝ භාවනාවේ යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් වෙසක් පුර පසළොස්වක පොහෝදා සියලු කෙලෙසුන් නසා උතුම් වූ බුද්ධරාජ්‍යයට පත් වී වදාළහ. දීර්ඝ කාලයක් මුළුල්ලෙහි අසීමිත ආත්මවල අප්‍රමාණ දුක් විඳිමින් ගිය සසර ගමන අවසන් කොට තණ්හාව ඇති වූ සියලු කෙලෙස් ධර්ම ප්‍රහීණ කිරීමෙන් ලබා ගත් නිවන් අවබෝධය පිළිබඳව මහත් වූ පී‍්‍රතිය ජනිත කිරීමෙන් ලබාගත් නිවන් අවබෝධය පිළිබඳව මහත් වූ පී‍්‍රතිය ප්‍රකාශ කිරීම පිණිස,
“අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං”
ආදී වශයෙන් දැක්වෙන ශ්‍රේෂ්ඨ ප්‍රකාශනය කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනදීය. 45 වසරක් වැඩ සිටීමෙන් මිසදිටුවන් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව සමිදිටුවන් බවට පත් කරමින් ද අසරණ වූවන්ට පිළිසරණ වෙමින් ද ලෝක සත්වයා වෙත නිවන් අවබෝධ කර ගැනීම සඳහා මාර්ගය සලස්වා දෙමින් ද බුදුහු අපමණ උත්සාහයක් ගෙන මහා කරුණාවෙන් කල් යැවූහ. අවසානයේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනෙහි පනවන ලද ආසනයෙහි සැතපී වැඩ සිටිමින් ර්‍ණඅප්පමාදේථ සම්පාදේථ” යනුවෙන් අප්‍රමාදව නිවන් සුව ළඟා කර ගැනීමේ කාර්යයේ නිරත වන්න යැයි අන්තිම අවවාදය දී වෙසක් පුන් පොහෝ දිනයේ දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළහ. ගෞතම බුදුරජාණන් වහන්සේ මණිඅක්ඛිත නා රජුගේ ඇරැයුමෙන් පන්සියයක් භික්‍ෂූන් සමඟ බුද්ධත්වයෙන් අට වන අවුරුද්දේ වෙසක් පුර පසළොස්වක පොහෝ දා කැලණියට වැඩමවා දහම් දෙසා අනතුරුව සමන් දෙවියන්ගේ ඇරැයුමෙන් සුමන කූඨයට වැඩමවා ශ්‍රී පාද ලාංඡනය පිහිටුවන ලදී. සුද්ධෝදන පියතුමාණන් විසින් තම රාජධානියට වැඩමවන මෙන් බෝසතුන් සමඟ එකදා උපන් කාලුදායි ඇමැතිවරයා විසින් බුදුරජුන්ට දන්වා යවන ලදී. ඒ අනුව මැදින් මස පුර පසළොස්වක පොහෝ දින බුදුරජුන් ප්‍රමුඛ විසි දහසක් පමණ සඟ පිරිස රජගහ නුවරින් පිටත්ව මාස දෙකක් ඇවෑමෙන් කිඹුල්වත් පුරයට වැඩම වූහ. එහි දී බුදුපියාණෝ ශාඛ්‍යයන්ගේ මානය තුරන් කිරීම පිණිස යමාමහ පෙළහර දක්වන ලද්දේ මේ වාගේ වෙසක්පුර පසළොස්වක පොහෝ දිනයේදීය. බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක ධුරය දැරූ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරණුවන් බුදුරජුන් පිරිනිවීමෙන් අනතුරුව රහත්ව හතළිස් වසරක් පමණ කාලයක් වැඩ සිට එකසිය විසිවන වියේ දී පිරිනිවන්පාන ලද්දේ වෙසක් පුර පසළොස්වක් පොහෝ දින ය. මහා වංශය සඳහන් කරන අන්දමට ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් බලයට පත් වූ ආර්යය වංශික විජය රජතුමා පන්සියයක් පිරිසද සමඟ ඉන්දියාවේ සිට ලංකාවට සැපත් වූයේ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය.
විශේෂයෙන් බුද්ධ පරිනිර්වාණයත් විජයාගමනත් මෙසේ එකම දිනක සිදුවීම නිසා ලෝකයේ කිසිම ජාතියකට හිමි නොවූ අන්දමට ජාතික වර්ෂයක් ආගමික වර්ෂයත් එක් දිනයක වීම ශ්‍රී ලාංකිකයන්ට හිමි වූ මහත් භාග්‍යයකි. මේ රට පාලනය කළ මුටශිව රජතුමාගෙන් පසුව බලයට පත් දෙවන පෑතිස් රජතුමා පැරැණි සම්ප්‍රදානකූලව අභිෂේකකොට රජ විය. එයින් අනතුරුව දෙවනපෑතිස් රජතුමා මහා වටිනා සහිතව අරිට්ඨ ඇමැතියන් ප්‍රධාන දූත පිරිසක් අශෝක රජතුමා වෙත යැවී ය. ඔවුන් හට ආර්ය අභිෂේකයට අවශ්‍ය ද්‍රව්‍ය අශෝක අධිරාජ්‍යයා විසින් එවා තිබුණත් නැවත දෙවන වරටත් තිස්ස රජතුමා අභිෂේක කළ අතර එය සිදු කළේ ද වෙසක් පුර පසළොස්වක දාක වීම ඓතිහාසික අතින් තවත් වැදගත් සිදුවීමකි.
එදා බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානයෙන් දස දහසක් සක්වල ඇතුළුව සතර මහාද්වීපය දෙදහසක් පමණ ක්ෂද්‍ර ද්වීප ඇති මේ මගුල් සක්වලින් මාගේ ශාසනය කොයි පිහිටාදෝ හෝයි දිව්‍ය චක්ෂුසින් බලා ශ්‍රී ලංකා ද්වීපයෙහි ශාසනය පවතින බැවින් හස්තා මාලකයක් සේ නිශ්චය කොට වදාළා මහා උත්සාහයෙන් ලංකාව රකින පරිද්දෙන් දෙව් බඹුන් අතරින් සක් දෙවු මහ රජු සමීපයට කැඳවා,
“පතිට්ඨිස්සති දේවින්ද – ලංකාය මහි සාසනං
තස්මාස පරිවාරෙන්තං -රක්ඛංතු සාධුකං”
යනාදී මෙහෙවර වදාළ කල්හි දශනඛ සමෝධාන සමුජ්ජලිත අංජලි පිට මුදුණේ තබාගෙන වදාළ මෙහෙවරය මුදුණෙන් පිළිගෙන තමාගේ අයදුමෙන් යනාදී මෙහෙවර උපුල්වන් දෙව් රජ ලංකාව ආරක්‍ෂාවට සිටපු කල්හි බුදුහු දස දහසක් සක්වලින් රැස් වූ දිව්‍ය බ්‍රාහ්මණාදීන්ට අනුශාසනාකොට බණ වදාරා දෙවියන්ට අවසර දුන් සේක.
නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං
තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි ලෝක සත්ත්වයා වෙත මහා කරුණාවෙන් පිහිට වී පරහිත සුව පිණිස මුළු ජීවිතයම කැප කළ අසමසම ශාස්තෘන් වහන්සේ උන්වහන්සේ ය. මෙවන් අති පූජනීය දිනයක් බොදුනුවන් වශයෙන් තථාගත සම්බුදුපියාණන් වහන්සේ පිදීමට ප්‍රතිපත්ති පූජාවට පෙළ ගැසී ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කිරීම ඉතාම උසස් බුද්ධ පූජාවකි. වෙසක් පොහොය දිනය කුඩා දරුවාගේ පටන් සියලුම දෙනා හිමිදිරියේ තෙල්, මල්, සුවඳ දුම් ඇතුළු බුද්ධ පූජාවට අවශ්‍ය පූජා ද්‍රව්‍යයන් ද රැගෙන පන්සල වෙත යාම එදාමෙන් ම අදත් මතුවටත් පවත්වාගෙන යනු ලබන උතුම් සිරිතකි. සෙත් පිරිතට අවමඟුලට, දානයට, බණට වැඩමවනු ලබන්නේ සිව්පසයෙන් පුදන ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේම ය. එබැවින් මේ උතුම් පොහෝ දින ගමේ පන්සලට ගොස් ආගමික වතාවත්වල නිරතවීමට අමතක නොකළ යුතු ය. ඒ ගමේ පන්සලට දක්වන ගෞරවය මෙන් ම ඔබ ඔබේ ජීවිතයට ද කර ගන්නා මහ මෙහෙවරකි. ජීවිතයේ අන් කවර දාකවත් විහාරස්ථානයට නොයන අයෙකු පවා වෙසක් පොහොය දිනට සිල් සමාදන් වීම සඳහා විහාරස්ථානයට යොමු වනුයේ මහත් ශ්‍රද්ධා ගෞරව පෙරදැරිවය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන ශ්‍රද්ධාව එක් දිනකට පමණක් සීමා කළ යුතු නොවේ.
ජීවිතයේ හැම දිනකම හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ක්‍රියා කිරීම බෞද්ධයාගේ මූලික පරමාර්ථය විය යුතු ය. මෙවන් ඓතිහාසික පූජනීය වන්දනීය දිනයක බොදුනුවා විසින් යහපත් අධිෂ්ඨානයන් ජීවිතයට එකතු කර ගත යුතු ය. එනම් ජීවිතයේ යම් අතපසු වීමකින් හෝ මෙතෙක් සිදු වූ අඩුපාඩු මඟහරවා ගැනීමට උනන්දු වීම පළමුව කළ යුතු වේ. මෙතෙක් ළඟා කර ගැනීමට නොහැකි වූ යහපත් ගුණ දහම් හැකිතාක් පුරුදු පුහුණු කිරීමට කල්පනාවට ගත යුත්තකි. එසේ වුවහොත් උදා වූ සම්බුද්ධ තෙමඟුල ඔබේ ජීවිතයට අලංකාර වාසනාවන්ත කාලයක් වේවි. වෙසක් පොහොය දවස අර්ථවත්ව ගුණවත්ව හා සිල්වත්ව ගත කිරීමට ගත සිත මෙහෙය වීමට සැම දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා.
සසරගත ලෝක සත්වයා කෙරේ පහළ වූ කරුණාවෙන් අමාමහ නිවන් මඟ පහදා දුන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදු වූ වෙසක් පොහෝ දින අනුස්මරණය කරමින් තමන්ටත් රටටත් යහපතක් වන අයුරින් දහම් මාර්ගයේ නිරත වීමට සැබෑ බෞද්ධයෙකු වන්න.
ඇඹිලිපිටියේ සමාධි සිල් මාතාව
බුදුසරණ ඇසුරෙනි