රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා පසුගිය වසර තුන තුළදී රජයට බිලියන 1800ක බදු ආදායමක් අහිමි වී ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.
ඒ අනුව දළ වශයෙන් වසරකට අහිමි වී ඇති බදු ආදායම බිලියන 600ක් වන අතර එය රටේ වාර්ෂික ආදායමෙන් තුනෙන් එකක් බව ද හෙතෙම පැවසීය.
ඉහළ ආදායම් ලබන පුද්ගලයන්ගෙන් බදු අය කර ගැනීම සඳහා 2019 වසරේදී සකස් කර තිබූ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූයේ නම් රට තුළ මෙවැනි ආර්ථීක ගැටලුවක් පැනනොනගින බව ද හිටපු ජනාධිපතිවරයාගේ නොමග යාම නිසා එම බදු ප්‍රතිපත්තිය ඉවත් කර දැමූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
එම වසර තුන තුළදී රජයට අහිමි වූ බදු හානිය ක්ෂණික ඉහළ බදු ප්‍රතිපත්තියක් දමා අයකර ගැනීමට යෑම තුළින් ගැටලු රැසක් මතුවන බවද ඔහු පැවසීය.
වක්‍ර බදු ප්රතිපත්තියකට ගියහොත් භාණ්ඩවල මිල වැඩි වී දුප්පත් අයවලුන් ඇතුළු සියලු දෙනාට ම ගැටලු පැනනගින නිසා ඍජු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය උත්සහ කරන බව ද ඔහු සඳහන් කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත ම නොවුණත් බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී එම මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකඟ වීමට සිදු වන බව ද දශක ගණනාවක් තිස්සේ එවැන්නක් සිදුව ඇති බව ද හෙතෙම පැවසීය.
බදු වැඩි කිරීම තුළින් ජනතාවට සිදුවන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු පක්ෂ – විපක්ෂ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් ඉදිරියේදී සාකච්ඡාවක් පවත්වා සුදුසු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
අධිකරණ අමත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.