පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (ඔක්. 20) පැවති තීරණාත්මක තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 16ක ජයක් වාර්තා කළේ ය.
ඒත් සමග ශ්රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
එමෙන් ම, ශ්රී ලංකා කණ්ඩායම GROUP A කාණ්ඩයේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ ප්රසාද ලකුණු 4ක් සහ +0.667ක දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් ද රඳවා ගනිමිනි.
තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් පමණක් දැවී ලකුණු 162ක් වාර්තා කළේ ය.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 44කට ලකුණු 79ක් රැස් කිරීමට සමත් විය.
පසුව ප්රතිවාදී නෙදර්ලන්ත කණ්ඩායම සිය ඉලක්කය සපුරා ගැනීම සඳහා පිටියට පිවිසි අතර නෙදර්ලන්ත කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු වික්රම්ජිත් සිං ලකුණු 7ක් ලබා සිටිය දී මහීෂ් තීක්ෂණ යැවූ පන්දුවක් හමුවේ දසුන් ශානක වෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ය.
එම අවස්ථාවේ නෙදර්ලන්ත ලකුණු පුවරුව දිස් වුණේ ලකුණු 23ක් ලෙස යි.
ලකුණු 163ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 146ක් පමණි.