Home Local News Room : “සිරිනිවාස නාහිමිට රාජ්‍ය අනුග්‍රහය එපා”

News Room : “සිරිනිවාස නාහිමිට රාජ්‍ය අනුග්‍රහය එපා”

0
0


අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම නා හිමියන්ට අගෞරවයක් බව ත් රාජ්‍ය අනුග්‍රහය ප්‍රතික්ෂේප කරන බව වැඩ බලන අනුරාධපුර අටමස්ථානාධිපති රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පල්ලේගම හේමරතන නා හිමියෝ ඊයේ (ඔක්. 20) පැවසූහ.

රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මෙවන් අවස්ථාවක අපවත්වී වදාළ නා හිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලබා ගෙන ඒ සඳහා මුදල් වියහියදම් කිරීම උන්වහන්සේට කරන නිගාවක් සහ අගෞරවයක් බව ත් එබැවින් රාජ්‍ය අනුග්‍රහය ප්‍රතික්ෂේප කරන බවත් පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියෝ කීහ.

නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සිය ගෞරවය පුද කරන බව ත් උන්වහන්සේ පැවැසූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ මෙසේ ද පැවසූහ.

“අපේ දායකයෝ විශාල පිරිසක් සිටිනවා. ඒ අයගෙ උදවු ඇතිව සහ අපට ආදාහන පූජෝත්සවයේ කටයුතු රාජ්‍ය අනුග්‍රහය නොමැතිව කර ගත හැකියි. වර්තමානයේ සමාජය හැසිරෙන විදිහ ගැන කවුරුත් සබුද්ධිකව සිතන්න ඕනා. නා හිමිපාණන් වහන්සේ වෙනුවෙන් අපට යමක් කළ හැකිව තිබියදී රාජ්‍ය අනුග්‍රහය ලබා ගෙන විච්චූර්ණ කර ආදාහන පූජෝත්සවය කළාම මිනිස්සු අපට ගහයි. ‍ෙදාස් කියයි. මිනිස්සු තුන් වේල කා ජීවත්වීමට නොහැකිව සිටින වෙලාවක නිරර්ථක වැඩකටනෙ මේ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න හදන්නෙ.

ඒ නිසා මේ වෙලාවෙ නායක හාමුදුරුවන්ගෙ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ගත්තොත් එය නායක හාමුදුරුවන්ට කරන අගෞරවයක්. ඒ වගේ ම එහෙම කළොත් මමයි වග කියන්න ඕනෑ. සැබෑ තත්ත්වය එය බව අපි කවුරුත් තේරුම් ගත යුතුයි.

මම මේ කරන ප්‍රකාශය රජය අපහසුතාවට පත් කිරීමට එදිරිවාදීව කළ ප්‍රකාශයක් නොවෙයි. නායක හාමුදුරුවන් වෙනුවෙන් රාජ්‍ය ගෞරව සහ අනුග්‍රහය ලබා දීමට රජය ඉදිරිපත් වීම ගෞරවයෙන් භාර ගන්නවා. අපි විසින් රාජ්‍ය ගෞරවය හා අනුග්‍රහය ලබා ගැනීම නායක හාමුදුරුවන්ට සිදුවන නිග්‍රහයක් ලෙස සලකා එය ප්‍රතික්ෂේප කර සිටිනවා.”

මේ අතර, අපවත් වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ ආගමික වතාවත් නාහිමියන්ගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කොට තිබෙන බෝමළුව විහාරස්ථානයේ සන්නිපාත ශාලාවේදී හෙට (ඔක්. 22) සෙනසුරාදා සවස 2.30ට ආරම්භ කිරීමට නියමිත අතර අනතුරුව ශ්‍රී දේහය ආදාහනය කිරීම එදින සවස 5.00ට මහාවිහාරීය ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිත බව ත් හේමරතන නාහිමියෝ පැවසූහ.

මේ අතර, අපවත් වී වදාළ අටමස්ථානාධිපති නා හිමිපාණන් වහන්සේට අවසන් ගෞරව දක්වීම සඳහා දිවයිනේ නන් දෙසින් ගිහි පැවිදි විශාල පිරිසක් ඊයේ (ඔක්. 20) බෝමළුව විහාරස්ථානයට පැමිණියහ.

  • අනුරාධපුර – පර්සි කුරුනේරු, අනුරාධපුර – අමිල ප්‍රභාන්, නාච්චාදූව – කිත්සිරි වනසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here