ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීම, ජනාධිපතිවරයා සතුව පැවැති බලතල රාශියක් පාර්ලිමේන්තුව සතු කිරීම, ඇතුළු සංශෝධන සහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවැනි සංශෝධනය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර පමණක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම්වලට අදාළ ශේර්ෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පනත් කෙටුම්පතට සංශෝධන එක් කරනු ලැබීය.
තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174ක් හිමිවූ අතර, සරත් වීරසේකර මන්ත්‍රිවරයා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන ඩලස් අලහප්පෙරුම මහතා ප්රමුඛ නිදහස් ජනතා සභාව සහ උත්තර ලංකා සභාව නියෝජනය කරන මන්ත්‍රිවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළහ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජපක්ෂ පවුලේ මන්ත්‍රිවරුන් අතුරින් චමල් රාජපක්ෂ, ශෂේන්ද්‍ර රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරු පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමද කැපී පෙනිණි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු 26 දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාගැබ තුළ නොසිටියහ.
ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, සීතා අරඹේපොළ, රෝහිත අබේගුණවර්ධන, නිපුණ රණවක, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්. එම්. චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රිවරු ඇතුළු මන්ත්‍රිවරුන් 18 දෙනකු කලින් හේතු දන්වා ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියහ.
මහින්ද රාජපක්ෂ, සනත් නිශාන්ත, ගාමිණි ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි,සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න යන මන්ත්‍රිවරු හත් දෙනාද ඡන්දය විමසන අවස්ථාවේ සභාගැබ තුළ නොසිටියහ.
මහාචාර්ය ජී. එල්. පීරිස්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, අන්ගජන් රාමනාදන්, ශාන් විජේලාල් ද සිල්වා, මහාචාර්ය තිස්ස විතාරණ යන ස්වාධීන මන්ත්‍රිවරුන් පස් දෙනාද මැති සබයට පැමිණ නොසිටියහ.
ආර්. සම්පන්දන්, අබ්දුල් හලීම්, වඩිවේල් සුරේෂ්, යූ. නෝහාරාදලිංගම්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වරාසා ගජේන්තිරන්, හෙක්ටර් අප්පුහාමි, වේලු කුමාර්, එස්. එම්. මරික්කාර්, හේෂා විතානගේ, එම්. ඒ. සුමන්තිරන්, රාජපුත්තිරන් රාසමානික්කම්, තවරාසා කලෙයි අරසන් යන විරුද්ධ පක්ෂ මන්ත්‍රිවරුන් 13 දෙනාද මැති සබයට පැමිණ නොසිටියහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත, 2022 අගෝස්තු 10 වැනි දින ඇමැති විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අනතුරුව ඊට එරෙහිව පෙත්සම්වලට අදාළ ශේර්ෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සංශෝධන සිදුකොට අනුමැතිය ලබාගත්තේය.
මේ අනුව ඔක්තෝබර් 20 සහ 21 යන දෙදින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය පැවැත්විණි.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කාර්යයක් වන්නේ ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීමය.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අවධාරණය කළේ, විධායක ජනාධිපතිවරයා සතු තනි බලය යම් අධීක්ෂණයකින් හා සුපරික්ෂාකාරීව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කෙරෙන බවයි.
කථානායක, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත්වෙති.
ජනාධිපතිවරයා පත් කරන මන්ත්‍රිවරයෙක්, අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂය නියෝජනය කෙරෙන මන්ත්‍රිවරයෙක්, කුඩා දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරයෙක්, විපක්ෂනායකවරයා නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රිවරයෙක් සහ සිවිල් සමාජ නියෝජිතයන් 3 දෙනෙක් ව්‍යවස්ථාදායක සභාව සඳහා පත්වෙති.
අධිකරණ හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තවත් මූලික අරමුණකි. ඒ අනුව අගවිනිසුරු ප්රමුඛ ශේර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති (නිලබලයෙන්) සහ විනිසුරුවරුන්, නීතිපතිවරයා, මහබැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඔම්බුඩ්ස්මන්වරයා පත්කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්වය.
මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීමද ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව පත්කළ යුතුව ඇත.
ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් හා විගණන කොමිෂන් සභාවක් නැවත පිහිටුවීමටද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර ඇත.
නව සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියකුට සුදුසුකම් හිමිවන්නේ නැත. 19 වැනි හා 22 වැනි සංශෝධනයන් පිළිබඳව සංසන්දනයක් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 7 වැනි පරිච්ඡේදය අනුව දැක්වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු සභාව ලෙස සංශෝධනය කරනු ලැබීය. 22 වැනි සංශෝධනයෙන් යෝජනා කර ඇත්තේ එම වෙනස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ආකාරයටම වෙනස් කිරීමටය.
ඊට අමතරව කොමිෂන් සභාවලින් සාමාජිකයන් ඉවත් කිරීම පිළිබඳ අවධානය යොමු කිරීමේදී 19 වැනි ව්‍යවස්ථාවෙන් බලාත්මක කෙරුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ යම් ලිඛිත නීතියක විධිවිධාන සලසා ඇති ආකාරයට මිස ඉවත් කළ නොහැකිය යන්නයි. එහෙත් විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී හෝ යම් ලිඛිත නීතියක විධිවිධාන සලසා ඇති ආකාරයට මිස ඉවත් කළ නොහැකි ලෙස සංශෝධනය කෙරුණු අතර එවැනි විධිවිධාන නොමැති නම් එකී තැනැත්තා ජනාධිපතිවරයා විසින් ඉවත් කළ යුතුයි යන්නද ඊට එක් කර තිබේ.
කෙසේ වෙතත් මෙවර විසි දෙවැනි සංශෝධනයෙන් යළි එම තත්ත්වය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබූ තත්ත්වයට පත් කිරීමට යෝජිතය. බොහෝ අවස්ථාවලදී විවාදයට තුඩු දෙන කාරණයක් වන අමාත්‍ය මණ්ඩල සංයුතිය ව්‍යවස්ථා සංශෝධනයන්හිදී නොවෙනස්ව පැවතිණි. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය 30 නොඉක්මවිය යුතු ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 නොඉක්මවිය යුතුයි ලෙස 19 සහ විසිවන ව්‍යවස්ථා සංශෝධනවලද සඳහන් විය.
අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමක් සිදුවන්නේ නම් 19 වැනි සංශෝධනයේ සඳහන් වන්නේ ඉල්ලා අස්වුවහොත් මිස ඉවත් කළ නොහැකිය යනුවෙන් සඳහන් වන අතර විසිවැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ අස්සනින් යුතුව යවන ලිපියක් මඟින් අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ හැකිය යනුවෙන් සංශෝධනය කර තිබිණි. මෙවර විසිදෙවැනි සංශෝධනයෙන් යෝජනා කෙරෙන්නේද අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් මිස ඉවත් කළ නොහැකි ලෙසය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලතල හිමිවන්නේ නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තෝරා ගැනීමේදී නුසුදුසුකමක් ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වුණු වෙනත් රටක පුරවැසියකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම යන වගන්තිය හෙවත් ද්විත්ව පුරවැසියකු වීම යන්න විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කළද මෙවර විසි දෙවැනි සංශෝධනයට යළි ඇතුළත් කර තිබේ. ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පුරවැසියකුට විසිදෙවැනි සංශෝධනයට අනුව වරප්‍රසාද හිමිවන්නේ නැත.
අනුරාධා හේරත්
The post තුනෙන් දෙකකින් 22 සම්මතයි appeared first on මව්බිම.