සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට අඩු පොළී අනුපාතයකට ණය ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 4,900ක මුදලක් මෙරට බැංකු 8කට නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා එලෙස පවසා සිටින අතර ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට අදාළ බැංකු වෙතින් රුපියල් මිලියන 10ක උපරිමයක් දක්වා සියයට 11ත් 12ත් අතර පොලී අනුපාතිකයකට ණය ලබාගැනීමට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
අදාළ රුපියල් මිලියන 4,900ක මුදල ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු වෙත ඉකුත් 5 වන දා සිට නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා පවසා සිටී.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති කෘෂිකාර්මික, සංචාරක යන ක්ෂේත්‍ර සහ අපනයනය අභිමුඛ ක්ෂේත්රයට අදාළව නිෂ්පාදන කටයුතුවල නිරත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යළි නගා සිටුවීම සඳහාත් සහ ඔවුන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහාත් අදාළ මුදල ලබා දෙයි.
ඒ සම්බන්ධයෙන් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, ආසියානු සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.