තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී ඉකුත් මස 27 වන දා තිහගොඩ පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා මේ වනවිටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සිසුවාට මෙතෙක් සිහිය ලැබී නැතැයි එම සිසුවාගේ මව පවසයි.
සිසුවාගේ හිස සමීපයෙන් තැබූ වෙඩි පහර හේතුවෙන් හිසට බරපතළ තුවාල සිදුවීම නිසා මාතර රෝහලට ඇතුළත් කළ සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කළ අතර ඒ මොහොතේ සිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
සිසුවාගේ හිසට සිදුකළ තෙවන සැත්කම පෙරේදා (ඔක්. 31) දහවල් සිදුකළ බව එම ශිෂ්‍යයාගේ වැඩිමල් සහෝදරිය වන පී.බී. සෞම්‍යා නදී ‘මව්බිම’ට මෙසේ පැවසීය.
“අපේ මල්ලි හර්ෂ් හංසක දේශන්ට මේ වනවිටත් සිහිය ලැබී නැහැ. ඊයේ දහවල් මල්ලිට නැවතත් සැත්කමක් කළා. මේ තුන්වන සැත්කම. අපි මේ වනවිට අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. අපි හරි අසරණ මිනිස්සු. මේ වනවිට එදා වේල හම්බකරගෙන කන්න බැරි තත්ත්වෙට පත්වෙලා.
අම්මයි තාත්තයි කුලී වැඩ කරගෙන තමයි ජීවත් වුණේ. දැන් ඒ දෙන්නා රෝහල ගාවට වෙලා ඉන්නවා. මම රැකියාව කළේ ඇඟලුම් කම්හලක. මටත් එදා ඉඳලා තව ම වැඩට යන්න විදිහක් නැහැ. මටත් ඒ රස්සාව දැන් නැති වෙනවා. තිහගොඩ ඉඳලා මාතරටත් මාතර ඉඳලා කරාපිටියටත් උදේට දවල්ට හවසට යන්න විශාල මුදලක් වැය වෙනවා බස් ගාස්තු ලෙස. අපිට බස් එකේ යන්න පවා මේ වනවිට අපහසුයි.
මල්ලි හිටපු තත්ත්වෙට පත් කරගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. එදිනෙදා කුලී වැඩක් කර ජීවත් වෙච්ච අපි කොහොම ද මේ වියදම් දරන්නේ. මේ වනවිටත් අසල්වාසීන්ට ණය වෙලා තමයි අපි බස් කුලිය සොයාගන්නේ. ඉතින් අපිට සාධාරණයක් කරන්න කියලා අපි ඉල්ලනවා.
මල්ලි ගැන කිසි ම තොරතුරක් අපි දන්නේ නැහැ. අපිට හොයාගන්න බැහැ. වෛද්‍යවරු කියන්නේ නැහැ. වෛද්‍යවරුන්ටත් ඉහළින් ම බලපෑමක් වෙනව ද දන්නේ නැහැ අපිට හිතෙන විදිහට.
අන්ත අසරණ වෙච්ච අපි තවදුරටත් අසරණ කරන්නේ නැතිව අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න.”