රුපියල් ලක්ෂයකට ආසන්න විදුලි බිලට පොලු තැබූ කොළඹ 7, විජේරාම පාරේ පිහිටි නිවසක විදුලිය විසන්දි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට හිටපු අමාත්‍ය නවීන් දිසානායක සහ තවත් පුද්ගලයකු කළේ යැයි කියන තර්ජනයක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව වාහාම පරීක්ෂණයක් ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
එම නිවසේ විදුලි බිලේ විශාල හිඟ මුදල පිළිබඳව කීපවරක් දැනුවත් කිරීමෙන් පසුව බිල නොගෙවීම නිසා විදුලිය විසන්දි කිරීමට ගොස් ඇති බවත් මෙම සිද්ධිය වූ ඊයේ (23) පස්වරුවේද විදුලි සේවකයන් නැවත එම නිවසට ගිය අවස්ථාවේදී නිවස වසා ඇතැයි විදුලි සේවකයන් දැනුම් දුන් බවද හජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩි දුරටත් පවසයි.
මේ සම්බන්ධයෙන් එම සේවකයින් දෙදෙනා කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ලේ සඳහන් වන්නේ එම සේවකයන් දෙදෙනාට තර්ජනය කර ගේට්ටුවෙන් එළියට තල්ලු කළ බවය.