Home Politics News Room : රට ස්ථාවර වුණොත් බලයට එන්න බැරි වෙතැයි බියෙන් ආණ්ඩුවේ...

News Room : රට ස්ථාවර වුණොත් බලයට එන්න බැරි වෙතැයි බියෙන් ආණ්ඩුවේ සාර්ථකත්වයට කුහක පිරිස් අකුල් හෙළනවා

1
0

බලයට ඒම සඳහා තමන්ට තිබෙන අවස්ථාව බින්දුවට වැටේ යැයි බියෙන් කුහක දේශපාලනඥයන් පිරිසක් රට ස්ථාවර කිරීම පිණිස ජනපති ප්‍රමුඛ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට අකුල් හෙළන බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඇතැම් වෘත්තිය සමිතිද මොවුන් සමඟ එක්ව දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, මේවා සම්බන්ධව ජනතාව අවබෝධයෙන් පසු විය යුතු බවත් ඒ මහතා කීය. මහනුවරදී ඊයේ (16) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.

තම අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීමේ පූර්ණ නිදහස වෘත්තිය සංගම්වලට තිබෙන නමුත් තමන් සහය දෙන දේශපාලන බලවේග බලයට ගෙන ඒමේ අරමුණින් රජය අපහසුතාවට පත් කිරීම පිණිස සිදු කරන විරෝධතාවලට ඉඩ දිය නොහැකි බවත් ඒවා වැළැක්වීම පිණිස ඕනෑම රජයක් කටයුතු කරන බවත් ඒ මහතා කීය.

පැරිස් කණ්ඩායම, චීනය ඇතුළු රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුබවාදී ආකාරයෙන් එකඟතාව පළ කර තිබීම රටක් ලෙස අප ලද ජයග්‍රහණයක් බවත් කෙසේ හෝ බලය ලබා ගැනීමේ අරමුණින් පසු වන කුහක, පිළුණු වූ අදහස් ඇති කණ්ඩායම් හැර අනෙකුත් සියලු දෙනා මේ පිළිබඳ සතුටු වන බවත් හෙතෙම අවධාරණය කළේය.

ලී ක්වාන් යූ බලයට පැමිණ මුලින්ම කළේ සිංගප්පූරුවේ දියුණුවට බාධා වී තිබුණු සියලු දේ ඉවත් කිරීම බවත් කුමන පක්ෂයකට වුවත් රට පාලනය කිරීම සඳහා ස්ථාවර රටක් තිබීම වැදගත් බවත් කී ඒ මහතා රටක් යම් ස්ථාවර තැනකට ගෙන ඒමට නීති මාලාවක් අවශ්‍යය යැයිද ප්‍රකාශ කළේය.

ජත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට රුපියල් 45,000ට වඩා වැටුප් ලබන සියලු දෙනා බද්දකට යටත් කළ යුතු බවට යෝජනා කළත් රජය එය රුපියල් ලක්ෂ දෙකක් දක්වා ඉහළට ගෙන යා යුතු බවට අදහස් ඉදිරිපත් කළ බවත්, අවසානයේ එය රුපියල් ලක්ෂය දක්වා වූ මධ්‍යස්ථ අගයකට පැමිණි බවත් කී රඹුක්වැල්ල මහතා මෙම අය කිරීම් තාවකාලිකව සිදු කරන බවට පුන පුනා ප්‍රකාශ කළත් ඇතැම් වෘත්තිය සමිති රජය අපහසුතාට පත් කිරීම පිණිස නොයෙකුත් විරෝධතා හා වර්ජන ක්‍රියාත්මක කළ බව ද පැවසුවේය

අසේල කුරුළුවංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here