එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් ලබා ගෙන ඇත්තේ චාමර ගුණසේකර, නමැත්තා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (අප්‍රේල් 25) අනාවරණය කළේ ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 27(2) යටතේ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය. මේ පිළිබඳව මන්ත්‍රීවරුන් පිරිසක් සභාවේදී විවිධ අදහස් දැරූහ.
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ –
“මේ සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ මෙම විෂය පිළිබඳව ප්රවීණත්වයක් ඇති ස්පාර්ක් හෙල්මෝ ලෝයර්ස් කියන නීතිඥ ආයතනයෙන් උප දෙස් ලබාගෙන තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුව. ඒ උපදෙස්වලට අනුකූලව සහ ස්වාධීනව කරුණු ගවේෂණය කිරීමෙන් අනතුරුව සිංගප්පූරු අධිකරණයේ නඩු පැවැරීමේ කටයුතු ඩෙන්ස්ටන් රොඩික් ඇන්ඩ් ඩේවිඩ්සන් එල්.එල්.බී. කියන ආයතනය විසින් සිදු කිරීමට නියමිතයි. මේ වන විට සියලු කටයුතු අපි සිදු කරමින් තිබෙනවා. මෙම නඩුව අද දිනයේදී සිංගප්පූරු අධිකරණයේදී පැවැරීමට නියමිතයි.”
මේ අල්ලස් ලබා ගැනීම ගැන පරීක්ෂණයක් පවත්වනවා පොලිස්පතිතුමාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස් පරීක්ෂකතුමා විසින්. මට අභියෝගත් කරලා තිබුණා පුළුවන් නම් නම් හෙළිදරව් කරන්න කියලා. මම අද හෙළිදරව් කරනවා. මේකේ වගකීම මම භාරගන්නේ නෑ. මේක තොරතුරක්. මේක සාක්ෂියක් ද නැද්ද කියලා මම දන්නේ නෑ. ඒක තෝරගන්න ඕනි පොලිසිය පරීක්ෂණ කරලා. ඒකේ නමක් විධියට තිබෙනවා චාමර ගුණසේකර, නට්වෙස්ට් කොට් 500,00 එකවුන්ට නම්බර් එක 154793334, IBAN (International Bank Account Number) නම්බර් එකක් තියෙනවා. GB 53 N W B K 50000015479234, BIC N W B K G 2L, අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වැටිලා තියෙනවා කියලා තමයි මට තොරතුරු ලැබුණේ. ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු දැන් සිදුකරගෙන යනවා.
මේ සම්බන්ධව රට තුළ විශාල මතයක් ගොඩනැගුවා. කණ්ඩායමක් කියනවා මේ නඩු පවරන්න ඕනී ලංකාවේ කියලා. කණ්ඩායමක් කියනවා සිංගප්පූරුවේ කියලා. මේ සම්බන්ධව මීපා ආයතනය විශේෂඥ කමිටුවක් පත් කරලා ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා, ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර සහ මාලක ගුණසේකර මහතා ඊට පත් කළා. ඔවුන් කියලා තියෙනවා අනිවාර්යයෙන් ම මේ නඩු පැවරිය යුත්තේ ලංකාව තුළ කියලා. ඒ කරුණු ඉදිරිපත් කළාට පස්සේ මම ඔවුන්ට ආරාධනා කළා. ඒ වගේ ම අනිත් පැත්තෙන් නීතිපතිතුමාටත් ආරාධනා කළා. එතැනදි මම කිව්වා සාකච්ඡා කරලා හරි දේ මොකක්ද කියලා බලන්න කියලා. ඒ සාකච්ඡාව අවසානයේදී ලංකාවේ නඩු පැවරිය යුතුයි කියලා උපදෙස් ලබා දුන් විශේෂඥයෝ තුන්දෙනා ම නීතිපතිතුමාගේ මතය අනුව සිංගප්පූරුවේ මේ නඩුව පැවරුවොත් තමයි ශ්‍රී ලංකාවට වාසිය තියෙන්නේ කියන කාරණය නිවැරදියි කියලා පිළිගත්තා. ඒ අනුව තමයි අපි මේ කටයුත්ත සිදු කරගෙන ගියේ.
අපිට නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ලැබිය යුතු වන්දි ප්‍රමාණය ලබා ගන්න මෙහෙම නඩු තුනක් පවර පවර විත්තිකාරයෝ හොය හොය යන්න කිසිදු අවශ්‍යතාවක් නෑ. මේක ශ්‍රී ලංකාවේ මුහුදු තීරයෙන් යවන්න එපා කියලා නීතිපති උපදෙස් දුන්නා. ඒ උපදෙස් දීලා දවස් කිහිපයකින් මේ නැව මුදා හැරියා. ඒ මුදා හැරීම ගැන නියෝගය දීලා තියෙන්නේ ජයන්ත කොළඹගේ මහතා. එතුමා එවකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්. මේකේ ඇත්ත නැත්ත හොයා ගන්න අපිටත් අවශ්‍යතාව තියෙනවා. මොකද මේකේ තියෙනවා ජනාධිපතිතුමාගේ නියෝගයක් මත මුදා හරිනවා කියලා. එතුමා කවදාවත් මේ නැව ලංකාවෙන් එළියට ගෙනියන්න කියලා නියෝගයක් දීලා නෑ. ඒත් නාලක ගොඩහේවා මහතා ඉල්ලීමක් කරලා තියෙනවා හිටපු ජනාධිපතිතුමාගෙන් මේ නැව එළියට ගෙනියන්න දෙන්න කියලා. හිටපු ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙනවා එහෙම ගෙනියනවා නම් නීතිපතිතුමාගේ නියෝගයක් මත පමණයි අවසර ලබා දිය යුත්තේ කියලා. එතුමා ඊයේ රෑත් මට ඒක තහවුරු කළා. අද උදෙත් මම දෙවනුව තහවුරු කරගත්තා.”
- අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය