Home Local මධුෂාන් චන්ද්‍රජිත් අන්තරේ නොවන අන්තරේ නව කැඳවුම්කරු ලෙස පත්වීම ආන්දෝලනාත්මකයි..! – Lanka...

මධුෂාන් චන්ද්‍රජිත් අන්තරේ නොවන අන්තරේ නව කැඳවුම්කරු ලෙස පත්වීම ආන්දෝලනාත්මකයි..! – Lanka E News

3263
0

වසන්ත මුදලිගේ පසුගිය 14 වන දින අන්තරේ කැඳවුම්කාර ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ධූරය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මධුෂාන් චන්ද්‍රජිත් පත්කර ඇත. නමුත් මෙය බාග අන්තරයක කැඳවුම්කාර කමකි. ඒ මන්ද යත් සියලු සරසවිවල මහා ශිෂ්‍ය සංගම් නියෝජනයක් නොමැති වීම නිසා ය.

මැදිවියේ මධුෂාන් කිසිදු තනතුරක ඉඳලාත් නෑ; වසර දෙකක පන්ති තහනමක ඉන්න අයෙක්
මේ වන විට 28 හැවිරිදි මධුෂාන් 2015 වර්ෂයේදී උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තේරී පත්වූ ඇඹිලිපිටිය තෝරකොලයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එසේම කොමියුනිස්ට්වාදී මතධාරියෙක් වන ඔහු මේ වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග කටයුතු කරමින් සිටියි. විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයක කිසිදු තනතුරක් නොදැරූ අයෙකු ලෙස අන්තරේ කැඳවුම්කරු ධූරයට පත් දෙවන පුද්ගලයා වන්නේ ද මධුෂාන් ය.

මධුෂාන් සිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට පරුෂ වචනයෙන් බැණවැදීමක් සම්බන්ධව චෝදනා ලබා මේ වන විට වසර දෙකක පංති තහනමකට ලක්ව ඇත. මේ සම්බන්ධව ඔහුගේ පියා විසින් උපකුලපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත්කර තිබූ අතර එම අභියාචනය වෙනුවෙන් උපකුලපතිවරයා පසුගිය 19 වන දින ඔහුව කැඳවා තිබුණ ද මධුෂාන් එයට සහභාගී නොවී දේශපාලන කටයුතු සඳහා කොළඹට පැමිණ තිබිණ. එය බොහෝවිට අන්තරේ කැඳවුම්කරු ධූරය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් විය හැක.

සෞන්දර්ය විශ්වවිද්‍යාලය විරෝධය පා වර්ජනය කළා..
හදිසියේ පුරප්පාඩු වූ අන්තරේ කැඳවුම්කරු ධූරය සඳහා විශ්වවිද්‍යාල කිහිපයක මහා ශිෂ්‍ය සංගම් හරහා යෝජනා කිහිපයක් පැමිණියද ඒවා වලක්වාලමින් මධුෂාන් චන්ද්‍රජිත් කැඳවුම්කරු ලෙස පත්කිරීම උදෙසා පිටිය සකසමින් සිටි බව අප මීට පෙරද වාර්තා කළෙමු. ඒ අනුව පේරාදෙණිය, සබරගමුව, රුහුණ, කඹුරුපිටිය කෘෂි පීඨය ඇතුලු විශ්වවිද්‍යාල කිහිපයක මහා ශිෂ්‍ය සංගම් නිළවරණය සඳහා සහභාගී කර නොගත් අතර එසේ සහභාගී කර නොගැනීමට විරෝධය පලකරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් කිහිපයක් නිළවරණය වර්ජනය කළ බවද වාර්තා වේ.

අන්තරය ලෙස නියෝජය වී ඇත්තේ බාග අන්තරයකි…
මේ අනුව මධුෂාන් සඳහා එකඟතාව පළකළ මහා ශිෂ්‍ය සංගම් වන්නේ අග්නිදිග, නැගෙනහිර, කැළණිය, රජරට, විවෘත යන විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් පමණි. මීට අමතරව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හිතවත් පීඨ ශිෂ්‍ය සංගම් කිහිපයක් ඔහුට පක්ෂව අදහස් පළකර ඇත. එනිසාම අද අන්තරය ලෙස නියෝජය වී ඇත්තේ බාග අන්තරයකි.

වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රොඩ්‍රිගු, කැළණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමි ආදී අත්දැකීම් සහිත ශිෂ්‍ය නායකයින් අන්තරයෙන් ඉවත්කිරීමට මීට පෙර සැසිවාරයේදී තීරණය වී තිබූ අතර ඒ මධුෂාන්ට තේරී පත්වීම පහසු කරවීම පිණිස විය.

පෙරටුගාමීන් සහ සජබෙ එකට..
නිළවරණය සඳහා ප්‍රධාන විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් කිහිපයක්ම සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇත්තේ එම මහා ශිෂ්‍ය සංගම් තුල ජවිපෙ හිතවාදී ශිෂ්‍ය කණ්ඩායම් සිටින නිසා යැයි පැවසේ. මෙලෙස ජවිපෙ හිතවාදී ශිෂ්‍ය කණ්ඩායම් නිළවරණයයෙන් ඉවත්කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ හිතවත් ශිෂ්‍ය කණ්ඩායම් එක්ව කටයුතු කර ඇති බවද වාර්තා වේ. එමෙන්ම පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය ඉවත් කිරීමට තවත් හේතුවක්ව ඇත්තේ මධුෂාන් පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ හෝ නායකයකු නොවීමත්, එම නිසා පේරාදෙණියෙන්ම පැමිණිය හැකි විරෝධය වැලැක්වීමටත් බවද කියැවේ.

තවද අනෙකුත් ශිෂ්‍ය සංගම් නිළවරණය සඳහා සහභාගී වීම වැළක්වීම සඳහා අන්තරේ සැසිවාරය පෙර දැන්වූ පරිදි කැළණිය විශ්වවිද්‍යාලයේ නොපවත්වා රජරට විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට තීරණය කර තිබූ අතර එය අදාල පාර්ශව වෙත දන්වා තිබුනේ 20 දින, එනම් නිළවරණය පැවැත්වෙන දිනයේ අලුයම දී ය.

රහස් සැලැස්ම හෙලිවුනා…
අග්‍නිදිග විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සිසුන් වෙත යොමුකරන ලද පණිවිඩයකින් මධුෂාන් කැඳවුම්කරු කිරීමේ රහස් සැලැස්ම තවදුරටත් තහවුරු වේ. එම පණිවිඩය අනුව 20 දින උදෑසන 11 ට පමණ සිසුනට දන්වා තිබුනේ අග්නිදිග මහා ශිෂ්‍ය සංගමයේ තීරණය ලෙස මධුෂාන් කැඳවුම්කරු තනතුර සඳහා සුදුසු බව අන්තරයට දැනුම් දුන් බවයි. එහෙත් ස්ථානය වෙනස් කිරීම නිසා ප්‍රමාද වූ අන්තරේ සැසිවාරය 20 දින සවස් වන තුරු ආරම්භ වී පවා නොතිබුනි. අන්තරෙන් පසුව සිසුන් වෙත යැවීමට සූදානම් කර තිබූ පණිවිඩයක් අන්තරයට පෙර වැරදීමකින් එසේ පිටවී තිබුණි.

අන්තරේ නිළවරණය සඳහා ප්‍රධාන විශ්වවිද්‍යාල සම්බන්ධ කර නොගත්තේ මන්ද යන්න සහ අන්තරේ ප්‍රධාන ශිෂ්‍ය නායකයින් ඉවත්කර නිළවරණය කැඳවූයේ මන්ද යන්න පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මෙතෙක් මාධ්‍ය වෙත ලබා දී නොමැත.

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි
ලංකා ඊ නිවුස් වෙතින් උපුටා ගන්නා ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here