ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් ගොඩබිමින් මෙන් ම ආසන්න මුහුදු කලාපයේ සිදුවිය හැකි භූ කම්පනයකදී නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකළ උස් ගොඩනැගිලිවලට හානි සිදුවීමේ අවදානමක් ඇති බැවින් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි උස් ගොඩනැගිලි සියල්ල ඉක්මනින් වර්ගීකරණයකට ලක් කළ යුතු යැයි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පැවසීය.
එවැනි කිසිදු අධ්‍යයනයක් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව නැතැයි ද ඔහු කීවේ ය.
මේ වනවිට ගිනිකොන දිග කලාපයේ භූ කම්පන නිතර නිතර සිදුවීමේ ප්‍රවණතාවක් ඇති බැවින් මේ සම්බන්ධව බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතු යැයි ද හෙතෙම කියා සිටියේ ය.
අලුතින් ඉදිවන ගොඩනැගිලි අවසාන පාෂාණ තට්ටුව දක්වා විද කණු යොදා සකස් කරන නමුත් මීට වසර පනහකට පමණ පෙර ඉදිකළ උස ගොඩනැගිලි එවැනි ප්‍රමිතියකින් ඉදිනොකළ බව පෙන්වා දුන් මහාචාර්යවරයා රිච්ටර් මාපක 6ක හෝ ඊට වැඩි භූ කම්පනයක් සිදුවුවහොත් පවතින තත්ත්වය යටතේ බරපතළ තත්ත්වයක් ඇති විය හැකි යැයි ද කීය.
කොළඹ නගරය හා ආසන්න ප්‍රදේශ බොහොමයක් පරණ කළපු ගොඩ කර ඉදි කළ භූමි බව ත් නුගේගොඩ ප්‍රදේශයේ සම්පූර්ණයෙන් ම පාහේ ඇත්තේ මැටි නිධියක් පමණක් බව ත් හෙතෙම සඳහන් කළේ ය.
කොළඹ හා ආසන්න ප්‍රදේශවල උස් ගොඩනැගිලිවල වයස ඉන්ජිනේරුමය ප්‍රමිතිය, භූමිය හා භූ විද්‍යාත්මක තත්ත්වය වැනි තත්ත්වයන් මෙම වර්ගීකරණයේදී සැලකිල්ලට ගත යුතු අතර එහිදී අවදානම් සහිත ගොඩනැගිලි ගැන යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි ද මහාචාර්යවරයා කියා සිටියේ ය.