ආණ්ඩුව වැඩ කරන ආකාරය ගැන ජනතා අනුමැතිය 21%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් සිය නවතම වාර්තාවකින් පවසයි.
ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන ඍණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව මෙම සමීක්ෂණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන බව කියන වෙරිටේ රිසර්ච් ආයතනය රටේ ජනතාවගෙන් 08%ක් ආර්ථිකය විශිෂ්ට මට්ටමක පවතින්නේය යන අදහසින් පසුවන බව කිය යි.
‘රට හිතන හැටි’ මැයෙන් වෙරිටේ රිසර්ච් සිදුකරන දීපව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ 2023 ජූනි මස ප්‍රතිඵලවලට අනුව මෙම වාර්තාව නිකුත් කර ඇත.
2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාස දෙකෙහිදී වෙරිටේ රිසර්ච් නිකුත් කළ සමීක්ෂණ ප්රතිඵලවලදී වාර්තා වූ 10% අගය සැසඳීමේදී මෙය දෙගුණයක ඉහළ යාමකි. ඒ අනුව, රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ජනතාව වඩා ත් තෘප්තිමත් බව මෙවර සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ යැයි වෙරිටේ රිසර්ච් පවසයි.
ආණ්ඩුව වැඩ කරන ආකාරය ගැන ජනතා අනුමැතිය පිළිබඳ අගය 2023 ජූනි මාසයේ 12%ක් වූ බව ත් 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාසවල මෙම අගය පැවතියේ පිළිවෙළින් 4%ක සහ 7%ක මට්ටම්වල බව ත් එම ආයතනය සිය සමීක්ෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මෙම ජනමත විමසුමෙන් ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ද ඇගැයුමට ලක්කර තිබෙන අතර ජූනි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ ඍණ 4.38%ක් ලෙසය.
පසුගිය පෙබරවාරි සහ ඔක්තෝබර් මාස දෙකට ම වඩා දියුණුවක් මෙමගින් පෙන්වූ නමුත් තවමත් එය පවතින්නේ ඍණ අගයක බව එම ආයතනය අවධාරණය කරයි.