ශ්‍රී ලංකාවට සිය ණය ගෙවීමට වසර 12ක් දක්වා කාලය ලබා දීමට ඉන්දියාව සැලසුම් කරන බව ඉන්දියාවේ අපනයන ණය ඇපකර සංස්ථාවේ [India’s Export Credit Guarantee Corporation (ECGC) Ltd)] සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ එම්. සෙන්තිල්නාදන් පවසයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලංකාව, සිය ද්විපාර්ශ්වික ණය හිමියන්ට ඩොලර් බිලියන 7.1ක් ණය බව ය. එනම් චීනයට ඩොලර් බිලියන 3ක්, පැරිස් සමාජයට ඩොලර් බිලියන 2.4ක් සහ ඉන්දියාවට ඩොලර් බිලියන 1.6ක් වශයෙනි.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. ඊට පස්සේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සිද්ධ වුණා ම අපි යම් කාලයක් තුළ [අපේ] මුදල් අය කර ගන්නවා. අවුරුදු 3-4 කින් අපිට ලැබෙන්න තියෙන දේ අවුරුදු 10-12 දක්වා දික් වෙන්න පුළුවන්,” සෙන්තිල්නාදන් පවසා තිබේ.
“නමුත් පොළී අනුපාතය අඩු වේවි. මේක උද්ධමනය සහ (යුක්රේන) යුද්ධය නිසා ඇති වන තත්ත්වයක්. ඉදිරි වසර 5-6 සඳහා ඔවුන්ට උපකාර කළා ම වෙළෙඳපොළ විවෘත වේවි,” සෙන්තිල්නාදන් වැඩිදුරට ත් සඳහන් කර ඇත.
මෙම වසර මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කර ගැනීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කිරීමට ඩොලර් බිලියන 3ක ණය වැඩසටහනක් අනුමත කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද මාස 48ක වැඩසටහන යටතේ, ශ්‍රී ලංකාවට පළමුව ඩොලර් මිලියන 333ක් පමණ හිමි විය.
ඉන්දියාවේ අපනයන ණය ඇපකර සංස්ථාව විසින් කළමනාකරණය කරනු ලබන ජාතික අපනයන රක්ෂණ ගිණුමට කොවිඩ් වසංගතයෙන් හේතුවෙන් සහ යුක්රේන යුද්ධය හේතුවෙන් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් ශ්‍රී ලංකාව, සැම්බියාව, සුරිනාම් සහ ඝානාව වැනි රටවල ණය පැහැර හැරීමට මුහුණ දෙන අපනයනකරුවන්ගෙන් ඉන්දීය රුපියල් කෝටි 4,500කට ආසන්න වන්දි ඉල්ලීම් ලැබී ඇති බව සෙන්තිල්නාදන් සඳහන් කර ඇත.