Home Local News Room : රට බංකොලොත් බව සොයන කමිටුවෙන් විපක්ෂය ඈත් වෙයි!

News Room : රට බංකොලොත් බව සොයන කමිටුවෙන් විපක්ෂය ඈත් වෙයි!

3
0

රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා සහභාගි වීම විපක්ෂය සම්පූර්ණයෙන් ම වැළකී සිටින බව ත් මේ ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට විපක්ෂයේ විධායක සභාව රැස් වූ අවස්ථාවේදී තීරණය වී ඇත.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පත් කිරීම තුළ එම තේරීම් කාරක සභාව කතා සාප්පුවක් විය හැකි බවත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම බේරා ගැනීම මේ තුළින් සිදු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔවුන් මෙලෙස උත්සාහ දරන්නේ ලැබුණු මේ තාවකාලික විරාමය තුළ මොවුන්ගේ අතකොළුවන් ලවා නැවත තමන්ගේ වැරදි වහ ගන්නට බව ද හෙතෙම චෝදනා කළේ ය.

මෙම තේරීම් කාරක සභාවෙන් කිසිදු ඵලක් නොවන හෙයින් විපක්ෂය එකට එකතු වී තේරීම් කාරක සභාවක් සකස් කර රට බංකොලොත් වීමට හේතු සොයා නැවත රට ගොඩ ගැනීමට කටයුතු කිරීමට එක්වන බව ද ඔහු සඳහන් කළේ ය.

විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට විපක්ෂයට හැකියාවක් ඇති බව ත් එම කාරක සභාවට පාර්ලිමේන්තුවේ 225න් ඕනෑම කෙනෙකුට පැමිණිය හැකි බව ත් ඔහු පැවසීය.

බැසිල්ට හිතවත් අතකොළු යොදා ගෙන රට බංකොලොත් වුණ හේතු සෙවීමට නොහැකි බව ත්, ඒ සඳහා ස්වාධීන කාරක සභාවක් ඇති කළ යුතු හේතුවෙන් මෙම තීරණය විපක්ෂයේ විධායක සභාවේදී සාකච්ඡා කළ බව ත් ඔහු වැඩිදුරටත් පැවැසුවේ ය.

මේ අතර, මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කිරීම හා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් මන්ත්‍රී විජිත හේරත් ඉල්ලා අස්වෙයි.

මේ පිළිබඳව දන්වා කතානායක මහින්ද යාපා අබේවර්ධනට මන්ත්‍රීවරයා ලිපියක් යොමු කර තිබේ.

එම විශේෂ කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස තමාගේ නම ද ඉදිරිපත් කරනු ලැබ ඇති වුව ද ආණ්ඩු පක්ෂයෙන් මෙම කාරක සභාව වෙත යෝජනා කළ නම් පිළිබඳව මේ වන විට ගොඩනැගී ඇත්තේ මතභේදාත්මක තත්ත්වයක් බව නොරහසක් බව එහි සඳහන් කර ඇත.

රටේ මූල්‍ය බංකොලොත්භාවය ඇතිවීමට හේතු කාරක වූ බහුතරයක් පිරිසගෙන් සමන්විත කමිටුවක් මඟින් ඊට අදාළ සැබෑ හේතු පරීක්ෂාවට ලක් කිරීමක් හෝ ඊට අදාළ යෝජනා නිර්දේශ ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵල බව ත් මේ තත්ත්වය තුළ එවැනි කමිටුවක් නියෝජනය කිරීම අර්ථ විරහිත වන බැවින් තමා එම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

  • මිතුන් ජයවර්ධන, අනුරාධා හේරත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here