ඖෂධ හේතුවෙන් සිදුවන්නේ යැයි කියන මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම්.ආර්.අයි. අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පත් කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය චන්දිම ජීවන්දර, මහාචාර්ය ප්‍රියදර්ශනි ගලප්පත්ති, වෛද්‍ය සෙනිතා ලියනගේ, මහාචාර්ය නිතුෂි සමරනායක, මහාචාර්ය එස්.එස්.පී. වර්ණකුලසූරිය, ආසියා පැසිෆික් කලාපයේ අසාත්මිකතා මණ්ඩලයේ අධ්‍යක්ෂ වෛද්‍ය පිලිප් එච්.ලී. සෙසු සාමාජිකයන් ලෙස පත් කර තිබේ.
මේ සඳහා පූර්ණ අපක්ෂපාතී පරීක්ෂණයක් විය යුතු අතර ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මෙහිදී අනිවාර්යයෙන් ම අවශ්‍ය බව ත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවසීය.
මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා ඕනෑ ම කෙනෙකුට කමිටු පත් කිරීමට හැකි නමුත් මෙවැනි කමිටු මගින් වන්නේ කුමක් ද යන්න අවබෝධයෙන් සිටිය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.
අසාත්මිකතාව පිළිබඳ විශේෂඥයෙක් (Allergis) සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ මේ වන තෙක් සේවය නොකරන බව ත් හදිසි අසාත්මිකතාවට ලක්වූ රෝගීන් කළමනාකරණය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට එම විශේෂඥතාව ඇති මහාචාර්යවරයෙක් ඒ සඳහා පත් කළ යුතු බව ත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවැසීය.
“තීරණය සාක්කූවේ දාගෙන යන කමිටුවලට මේ ගැටලු විසඳීමට නොහැකි” බව ත් “රෝගියාගේ පැත්තේ හිටගනිමින් ගැටලුව දිහා බලන්නට හැකි වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ගැටලුවට උත්තර හොයන්නට නොහැකි” බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේය.
අසාත්මිකතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ලංකාවේ සිටින විද්වත් පුද්ගලයයෙ ලෙස හඳුන්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිම ජීවන්දරගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කරන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ම සඳහන් කර තිබිණි.