Home Local News Room : ‘රාජ්‍ය ඇමති චාමර සම්පත්ගේ චණ්ඩි පාට් මැද’ පොස්පේට් නිලධාරියෙකුට...

News Room : ‘රාජ්‍ය ඇමති චාමර සම්පත්ගේ චණ්ඩි පාට් මැද’ පොස්පේට් නිලධාරියෙකුට ප්‍රහාරයක් (VIDEO)

3
0

එප්පාවල පිහිටි ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පැමිණි අවස්ථාවේ එම ආයතනයේ වංචා දූෂණ කටයුතු සම්බන්ධයෙන් සේවකයන් පිරිසක් හෙළිදරව්වක් සිදු කිරීමට යාමේදී ඇති වූ උණුසුම් තත්ත්වයකදී විධායක සේවකයන් විසින් අදාළ වංචා දූෂණ සිදු කළ බවට චෝදනා කරමින් එහි නිලධාරියෙකුට අමාත්‍යවරයා ඉදිරියේ ම ඊයේ (ජූලි 17) පහර දෙනු ලැබී ය.

කෙසේ නමුත්, පහර දීමට කළ උත්සහයෙන් එම විධායක නිලධාරියාගේ කමිසය ඉරී ගොස් තිබිණි. එම ස්ථානයේ රැදී සිටි පොලිස් නිලධාරීන් විසින් අදාළ සේවකයා හා විධායක නිලධාරියා එම ස්ථානයෙන් ඉවත් කර අදාළ ගැටුම සමථයකට පත් කිරීමට උත්සහ කරනු ලැබීය. පහරකෑමට ලක්වූ ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරිවරයා එප්පාවල පොලිස් ස්ථානයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

ලංකා පොස්පේට් රාජ්‍ය සමාගම කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින අතර කර්මාන්ත රාජ්‍ය අමාත්‍යයවරයා ඒ අනුව, ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ තෙවැනි වරටත් නිරීක්ෂණ චාරිකාවක ඊයේ නිරත විය.

පොස්පේට් රාජ්‍ය සමාගම වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා පිළිගැනීමෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. අනතුරුව අමාත්‍යවරයා ආයතනයේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අතර එහිදී සේවකයන් පෙන්වා දුන්නේ ආයතනයට අවශ්‍ය නොවන වර්ගයේ ඇඹරුම් යන්ත්‍ර අමතර කොටසක් ගියර් බොක්ස් එකක් ගෙන්වීමෙන් ආයතනයට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇති බව යි. අදාළ අමතර කොටස භාවිතයට ගත නොහැකි බැවින් නැවත මාරු කිරීමට ද කටයුතු කර නැති බවට ඔවුහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

අදාළ අමතර කොටස ඇණවුම් කළ නිලධාරියා වන සැපයුම් නිලධාරියා එම ස්ථානයට ගෙන්වන ලෙස එහිදී අමාත්‍යයවරයා පැවැසීය.

ඒ අනුව, ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරිවරයා එම ස්ථානයට පැමිණි අතර අමාත්‍යවරයා එම නිලධාරියාගෙන් විමසා සිටියේ වැඩක් කරන්න බැරි නම් මොකට ද ගෙන ආවේ, ඇයි මේකට සල්ලි ගෙව්වේ, මේකට වගකීමක් ගන්න පුළුවන් ද?

එහිදී සැපයුම් නිලධාරියා කියා සිටියේ, “ඇනවුම් කරපු එක තමයි ගෙනල්ලා තියෙන්නේ පස්සේ තමා දන්නේ මේක වෙනස් කියලා. මවු සමාගමෙන් මේක ඇණවුම් කළේ, මේක මෙහෙට ආවට පස්සේ තමයි දන්නේ සීරියල් නම්බරය වෙනස් කියලා. මට මේකේ වගකීමක් ගන්න බෑ,” යැයි පැවසීය.

එවිට ඇමතිවරයා කියා සිටියේ, “නිකං බබා වෙන්න එපා. මේ මිනිහගේ වැඩ තහනම් කරලා දාන්න. මෙතන්ට ඒ.එස්.පී. ගෙන ආවේත් ඕ.අයි.සී. ගෙන ආවේත් ගැහුවොත් මුං ගහලා එළවන්න. මං ඩී.අයි.ජී.ටත් එන්න කිව්වා. මුංගේ පැමිණිල්ලක්වත් භාර ගන්න එපා. පට්ට හොරු 4 දෙනෙක් ඉන්නවා. මේකේ මේක හයි කරන්න බෑ කියනවා නම් ඉන්ජිනේරුවා. මේ තමුන්ගේ අම්මා – අප්පාගේ බූදලයක් නෙමෙයිනේ ලක්ෂ 50ක්, මේක දීලා ආපහු සල්ලි අරන් දෙන්න පර්චස් කළේ ඔයා නේ.”

එහිදී සැපයුම් නිලධාරිවරයා කියා සිටියේ, “ටෙන්ඩර් මණ්ඩලයේ තීරණයට අනුවයි මම මේ මිල දී ගැනීම සිදු කළේ.”

එහිදී සේවකයන් පිරිසක් කියා සිටියේ, “ආයතනයේ අල්පෙනිත්තේ ඉඳන් හොරා කාලා ඉන්නේ යනුවෙනි.”

“අමාත්‍යවරයා – සභාපතිවරු, ඇමැතිවරු, ටෙන්ඩර් මණ්ඩලය මාරු වෙනවා. මේ ආයතනය තමුන්නාන්සේලාගේ, අපේ නෙමෙයි, ඔයා කවුද කියලා මේ ආයතනය දන්නවා. තමුසේට විරුද්ධව සී.අයි.ඩී. යට පැමිණිලි කරලා තියෙන්නේ. අල්ලස් එකට පැමිණිලි කරලා තියෙන්නේ. මුංගේ ගෙවල්වල ගිහින් පරීක්ෂා කරන්න ඕන අනං මනං ටෝක් දාන්න එපා. කන පැළෙන්න එකක් ගහනවා. මිනිස්සු හිටියත්. නිලධාරියෙක් වුණා ම හොරකම් කරන්න පුළුවන්, ලැජ්ජා වෙන්න බෑ.”

සැපයුම් නිලධාරියා – “ඇමතිතුමා නෙමෙයි කවුරු කීවත් මම මේ ආයතනයෙන් සත පහක්වත් වංචා කරලා නෑ. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න.”

“ඔප්පු කරන්න හොරකම් කරනවා ද මේ රටේ මිනිස්සු,” යැයි ඇමතිවරයා එහිදී උස්හඬින් පැවසීය.

එහිදී සැපයුම් නිලධාරියා, “ඇමතිතුමා විතරක් කතා කරලා හරියන්නේ නෑ. අපිටත් කතා කරන්න අවස්ථාවක් දෙන්න,” යැයි පැවසීය.

ඇමතිවරයා එවිට කියා සිටියේ, “හොරුන්ට මොකටද අවස්ථාව දෙන්නේ. මේ සේවකයොත් කියන්නේ මං නෙමෙයිනේ කියන්නේ. ඔයගොල්ලෝ කියන්නකෝ යැයි සේවකයොන්ට,” පැවසීය.

එවිට එක්වර ම සේවකයෙකු විසින් අදාළ සැපයුම් නිලධාරිවරයාගේ කමිසයෙන් ඇද පහර දීමට උත්සහ කළ අතර එම පහර දීම පොලිස් නිලධාරීන් මැදිහත්ව වළක්වනු ලැබීය.

කෙසේ වෙතත් අදාළ නිලධාරිවරයාගේ කමිසය ඉරී ගිය අයුරු දැකගත හැකි විය. එහිදී උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී කමිසය ඉරී ගිය සැපයුම් නිලධාරිවරයා කියා සිටියේ, “මේවා සැලසුම් කරපු ඒවා,” යනුවෙනි. “මේවා ගෙව්වේ මම නෙමෙයිනේ,” යනුවෙනි.

එවිට ඇමතිවරයා කියා සිටියේ, “සේවකයෝ කුපිත වෙලා ඉන්නේ. මම නෙමෙයි මේවා කියන්නේ. ඔයා වැරදි නැත්නම් මේවා මෙච්චර ඇවිස්සෙන්නේ නෑ. මේ රටේ මිනිස්සු වැඩියෙන් ම බනින්නේ දේශපාලනඥයොන්ටනේ. අපේනේ ගෙවල් ගිනි තිබ්බේ. දැන් මේක වෙනස් වෙන්න වෙනවා. මේක හදාගන්න බැරි වෙනවා.”

“රුපියල් 3,000 ඇණේ බුෂ් එක රුපියල් 78,000ට ගෙන ආවේ මෙයාලා,” යනුවෙන් එහිදී සේවකයන් නැවත අමාත්‍යවරයාට ඇණ කිහිපයක් පෙන්වමින් පැවසීය. “වැඩ තහනම් කරලා විතරක් මදි. මේ මුදල් අයකර ගන්න,” යැයි සේවකයන් පැවසීය.

“ප්‍රමිතියෙන් තොරව පොස්පේට් ටොන් ගණනක් මේ වනවිට නිෂ්පාදනය කරලා තියෙනවා ගබඩාවල. මේවාට සම්බන්ධ නිලධාරීන් නිදැල්ලේ. මේවාට වගකියන්න වෙලා තියෙන්නේ සමස්ත සේවකයන්ට,” යැයි සේවකයෝ වැඩිදුරට ත් පැවසූහ.

අදාළ සිදුවීමට මුහුණ දුන් ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සැපැයුම් නිලධාරි අශෝක අබේසිරි මහතා විසින් ඊයේ (ජූලි 17) පස්වරුවේ තමාට පොස්පේට් ආයතනය තුළදී කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී සේවකයෙකු පහරදීමක් කළ බවට එප්පාවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද සිදු කරනු ලැබ ඇත.

අදාළ පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ,

“අද දවසේ අපේ ආයතනයේ විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ චාරිකාවක් තිබුණා. එතුමාගේ නිරීක්ෂණය අතරතුරදී මා ඇතුළු කිහිප දෙනෙකුට චෝදනා කරමින් මේ ආයතනයේ වංචා, දූෂණ සිද්ධ වෙනවා. ඒවායේ වගකීම භාර ගන්න කියලා. මම කිව්වා ඍජු වගකීමක් භාර ගන්න බෑ වංචා දූෂණ සිදු වෙලා තියෙනවා නම් විධිමත් පරීක්ෂණයක් සිදු කර ඔප්පු කරන්න කියලා. සේවකයෝ කිව්ව පළියට ඒවා පිළිගන්න බෑ. ඒවායේ සම්පූර්ණ වාර්තාවක් ගන්න කියලා. නමුත් ඇමතිවරයා කිව්වා මිනිස්සු කියන නිසා මට පිළිගන්න වෙනවා කියලා. අද දවසේ අපි කිහිප දෙනෙකුට පහර දෙන්න හා හූ කියන්න ලෑස්ති කරලා තිබුණා. ආයතනයේ සභාපතිවරිය ඇතුළු පාලන අධිකාරිය ඒ නිසා මම එතැනට සහභාගි වුණේ නෑ. නමුත් ඇමතිවරයාගේ කැඳවීම අනුව මම එතැනට ගියා. ඇමතිවරයා ඊට පස්සේ කිව්වා ගහලා පන්නන්න මුංට කියලා.

අපි රජයේ මුදල් අවභාවිතයක් කරලා තියෙනවා නම් අමාත්‍යංශ මට්ටමින් විගණනයක් කරලා නීති මාර්ගයෙන් කටයුතු කරන්න ඕන. ප්‍රසම්පාදන කටයුතු කරන්නේ මම වුණාට මට තනියම ප්‍රසම්පාදන කටයුතු කරන්න බෑ. අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. ප්‍රසම්පාදන කමිටුවක් තියෙනවා තාක්ෂණ ඇගැයීම් කමිටුවක් තියෙනවා. ඔවුන් දෙන නිර්දේශ අනුවයි මම කටයුතු කරන්නේ. මට තනි බලයක් නෑ. තනි බලයක් තියෙන දෙයක්වත් මම වංචා කරලා නෑ කරලා තියෙනවා නම් විමර්ශනයක් කරලා කටයුතු කරන්න ඕන. එහෙම නැතිව ඇමතිවරයා ඉදිරියේ, පොලිස් නිලධාරීන් ඉදිරියේ මට ප්‍රහාරයක් එල්ල කළා. එහි වගකීම සභාපතිවරිය ඇමතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය භාර ගන්න ඕන.

  • අනුරාධපුර – තිසර සමල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here