Home Local News Room : “වැඩිපුර වැඩ කරන්න ලෑස්ති වෙන්න”: ඇමති සුසිල් නිලධාරීන්ට දන්වයි

News Room : “වැඩිපුර වැඩ කරන්න ලෑස්ති වෙන්න”: ඇමති සුසිල් නිලධාරීන්ට දන්වයි

2
0

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වැඩිපුර කාලයක් වැඩකිරීමට ඉදිරියේදී සූදානම් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඊයේ (අගෝ. 16) පැවසීය.

තමා නිදාගැනීමට යොදන පැය හතක් හැර දවසේ අනෙකුත් සියලු කාලය අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් වැයකරන බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.

ඒ අනුව නිලධාරීන් ද එවැනි කැපකිරීමක් කළ යුතු යැයි පැවැසූ හෙතෙම එසේ නොවුණහොත් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නොහැකිවනු ඇතැයි ප්‍රකාශ කළේ ය.

නිලධාරීන් ස්වයංව කල්පනා කොට වැඩිපුර කාලයක් රැකියාවේ යෙදීමට උත්සහ කළ යුතු බව ත්, එය රටේ දරු පරපුර අනාගතය වෙනුවෙන් ගනු ලබන වැදගත් තීරණයක් වනු ඇති බව ත් ඔහු කීවේ ය.

ප්‍රාථමික පාසල් දරුවන්ගේ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් සංවිධානය එක්ව අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් දැනුවත් කිරීමට කොළඹ ගලධාරි හෝටලයේ සංවිධානය කර තිබූ වැඩසටහනකට සහභාගි වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මේ බව පැවසීය.

ගුරු උපදේශකයන් දැනට සිටින ප්‍රමාණය මෙන් දෙගුණයක් පත්කිරීමට ද විදුහල්පතිවරුන් 7000ක පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ද ප්‍රාථමික අංශයේ හා පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමට ද ලබන වසරේදී නියමිත කාලයට ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවත්වීමට ද තිබෙන බව ඇමතිවරයා සඳහන් කළේ ය.

එසේ ම, ලබන වසර මැදවන විට පාසල් 3000ක් ස්මාට් කිරීමට ද චන්ද්‍රිකා තාක්ෂණයෙන් දුෂ්කර පාසල් ආවරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද තිබෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

ජාතික හා පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දරන නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here