Home Local News Room : කරාපිටියට පිනට දුන් ඉඩමේ ටිකට් කඩන රථ ගාලක්

News Room : කරාපිටියට පිනට දුන් ඉඩමේ ටිකට් කඩන රථ ගාලක්

2
0

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවට දුර බැහැර සිට පැමිණෙන රෝගීන්ගේ ඥාතීන්ට නතර වීමටත් පිළිකා රෝගීන්ගේ අතරමැදි නිවහනක් ලෙස පවත්වාගෙන යාමටත් අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම සඳහා තමන් විසින් පිළිකා සංගමයට පරිත්‍යාග කරන ලද පර්චස් 44ක ඉඩම මේ වනවිට කිසි ම ප්‍රයෝජනයක් නොගෙන අවභාවිත කරන නිසා එහි ගොඩනැගිලි ඉදිකිරීමට මැදිහත්වන ලෙස ගාල්ල බන්ධනාගාර අධිකාරි පුළිණ කරුණාරත්න මහතා ඉකුත්දා පැවති කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දෙවන වතාවටත් ඉල්ලා සිටියේ ය.

හිටපු රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ පුළිණ කරුණාරත්න මහතා මෙසේ ද කීය.

“මගේ අම්මාට පිළිකාවක් නිසා ප්‍රතිකාර ගැනීමට කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවට එක්ක ගියා. එහිදී මම දැක්කා දුර බැහැර පළාත්වල සිට එන රෝගීන්ගේ ඥාතීන්ට නතරවීමට තැනක් නැතිව ඉන්න ආකාර ය. ඒ වගේ ම සුව වූවත් භාර ගැනීමට කිසිවෙකු නොමැති පිළිකා රෝගීන් ද පිරිසක් සිටියා. මෙයට විසඳුමක් ලෙස ඒ අසල තිබූ පර්චස් හතළිස් හතරක ඉඩම මම මිලට අරගෙන රෝගීන්ගේ ඥාතීන්ට නතර වීමටත් පිළිකා රෝගීන්ගේ අතරමැදි නිවහනක් ලෙස පවත්වාගෙන යාමටත් අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඉඩම පිළිකා සංගමයට පරිත්‍යාග කළා.

එසේ පරිත්‍යාග කළේ 2014 ජනවාරි මාසයේ දිනයක යි. ලක්ෂ හැත්තෑපහකට ඉඩ ම අරගෙනයි පරිත්‍යාග කළේ. අද එම ඉඩමේ වටිනාකම රුපියල් කෝටි තුනයි. ඉඩම පරිත්‍යාග කරලා ටික කලකින් ඉඩම බලන්න ගියා. ඒ වන විට ඉඩම රථ ගාලක් ලෙස පවත්වාගෙන යමින් තිබුණා. මම ගිහිල්ලා වාහනය නතර කළා ම මට ත් රුපියල් පනහක ටිකට් එකක් දුන්නා. මට හරි ම දුකක් ඇති වුණා. පිළිකා රෝහලේ ප්‍රයෝජනය සඳහා පිළිකා වාට්ටුවට පරිත්‍යාග කරපු ඉඩම අවභාවිත කිරීමට විරෝධය පළ කරමින් මම පිළිකා සංගමයට ලිව්වා.

මම ඉඩම පරිත්‍යාග කළේ රථ ගාලක් පවත්වාගෙන යමින් සල්ලි හම්බ කරන්න නොවෙයි. ඒ නිසා මෙම ඉඩමේ පිළිකා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදිකරන්න මැදිහත් වන ලෙස මම ඉල්ලා සිටිනවා.”

මෙහිදී වජිර අබේවර්ධන මේ සම්බන්ධයෙන් සියලු දෙනා ගෙන්වා සාකච්ඡා කොට අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් ඉන්දික සමරකෝන්ට උපදෙස් දුන්නේ ය. පසුව ඒ මහතා මාධ්‍යවේදීන් ද කැඳවාගෙන ගොස් ඉඩම පෙන්වනු ලැබීය. මේ පිළිබඳව කරාපිටිය රෝහලේ පිළිකා සංගමයේ සභාපති තලංගල්ලේ විජිත හිමියන්ගෙන් විමසූවිට මෙසේ කියා සිටියහ.

“පිළිකා සංගමයේ මුදල් තියෙන්නේ රෝගීන්ට ආහාර පාන සහ බෙහෙත් ලබා දීමටයි. එහෙම නැතුව ගොඩනැගිලි හදන්න නොවෙයි. ගොඩනැගිලි හදන්න රුපියල් කෝටි ගණනක් වැය වෙනවා. හැදුවත් ඒවායේ ලයිට් බිල්, වතුර බිල්, සේවක පඩි නඩි ඇතුළු නඩත්තු කටයුතුවලට මාසෙකට රුපියල් ලක්ෂ දෙකක් විතර වැය වෙනවා. කෙසේ වෙතත් මෙහි ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු පිළිකා සංගමයේ අනුකමිටුවක් සැලසුම් කළා. නමුත් සම්පත් නැති නිසා එය නතර වුණා. මෙය සම්පත් දායකයන් විසින් ඉදිකරනවා නම් හොඳයි.”

  • ගාල්ල – ෆර්හාන් නිසාම්දින්, අහංගම – එස්. දීයගහගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here