චැනල් 4 නාළිකාව විසින් පසුගිය දා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මගින් හෙළිදරව් කළ තොරතුරු සහ එල්ල කරන ලද බරපතළ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට නියමිත ය.
නිවේදනයක් නිකත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේ ය.
එහි දැක්වෙන්නේ, 2019 වසරේ පාස්කු ඉරු දින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කරනු ඇති බව ය.
විනාශකාරී පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට චෝදනා කරමින් හිටපු නීතිපතිවරයෙකු ද මෙවැනි ම ප්‍රකාශයක් කර ඇති බැවින් මෙම තත්ත්වය “ඇවිලෙන ගින්නට පිදුරු දැමීම වැනි තත්ත්වයක් ඇති කර ඇතැයි එහි සඳහන් ය.
මෙම ගැටලු පුළුල් ලෙස අවධානයට ලක්කර කඩිනමින් විසඳීම සඳහා, මෙම කැළඹිලිසහගත ප්‍රකාශ විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට ද රජය අපේක්ෂා කරයි.
පවතින තත්ත්වයෙහි බරපතළකම අනුව දැනට පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අමතරව ඉදිරියේදී නිකුත්වීමට නියමිත මෙම වාර්තා දෙක ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
නීති සම්පාදකයින්ට තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම තුළින් නිවැරදි හා තීරණාත්මක ක්‍රියාමාර්ග සඳහා මග පෑදීම මෙම පුළුල් ක්රියාදාමයේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එහි තවදුරටත් මෙසේ දැක්වේ.
“2019 අප්‍රේල් මස 21 වන දා මුළු මහත් ජාතිය ම කැළඹීමට පත් කරමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මගින් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව ම ශෝකයේ ගිලී ගිය බව සිහිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.
පාස්කු ඉරුදින දේව මෙහෙයන්ට සහභාගී වෙමින් සිටි බැතිමතුන්ගෙන් පිරුණු කතෝලික දේවස්ථාන මෙන් ම සුඛෝපභෝගී හෝටල් ද ඉලක්ක කර ගනිමින් කොළඹ නගරය සහ ඒ අවට කේන්ද්‍ර කරගනිමින් දිවයිනේ ස්ථාන 8ක විනාශකාරී පිපිරීම් අටක් සිදු විය.
මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් අහිංසක ජීවිත 269ක් අහිමි වූ අතර පුද්ගලයන් 500කට ආසන්න පිරිසකට බරපතළ තුවාල සිදුවිය.
මෙම ඛේදනීය සිදුවීමේ අහිතකර ප්‍රතිවිපාක සමග සමස්ත ජාතිය ම පොරබදිමින් සිටින අවස්ථාවක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන ඇති මෙම පියවර සත්‍යය හෙළිදරව් කිරීමට සහ බරපතළ චෝදනා හමුවේ වගවීම සහතික කිරීමට ගත් තීරණාත්මක පියවරකි.
සත්‍ය සෙවීම සඳහා මෙම තීරණාත්මක විමර්ශනයන් සිදු කෙරෙන අතර ම, වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමඛ රජයේ ප්‍රධාන අරමුණ යි.”