මෙක්සිකෝ කොංග්‍රසය හෙවත් පාර්ලිමේන්තුව හමුවේ සිදු වූ ප්‍රසිද්ධ සාක්ෂි කැඳවීමකදී මනුෂ්‍යයන් නොවන පිටසක්වළ ජීවීන් දෙදෙනෙකුගේ මළ සිරුරු ප්‍රදර්ශනය කර ඇත.
හඳුනානොගත් පියාසර වස්තූන් සහ සංසිද්ධීන් සම්බන්ධයෙන් මෙම සාක්ෂි කැඳවීම සිදුවිය.
හඳුනානොගත් පියාසර වස්තු සහ අද්භූත සිදුවීම් ගැන වීඩියෝ පට කිහිපයක් පෙන්වීමෙන් අනතුරුව පිටසක්වළ ජීවීන්ගේ යැයි කියැවුණු මෙම මළ සිරුරු ප්‍රදර්ශනය කළ බව මෙක්සිකානු මාධ්‍ය පවසයි.
මෙම කුඩා මනුෂ්‍ය නොවන මළ සිරුරු දෙක මුහුණත වීදුරු සහිත පෙට්ටි දෙකක බහා මහජන ප්‍රදර්ශනයට තබා තිබූ අතර මෙම අවස්ථාව සජීවීව ඉන්ටර්නෙට් හරහා මුදාහැර තිබිණි.
මෙම මළ සිරුරු දෙක පේරුහි කුස්කො (Cusco) ප්‍රදේශයෙන් හමු වූ බව සඳහන් වෙයි. මේවා වසර දහස් ගණනක් පැරණි ෆොසිලගත වූ පිටසක්වළ ජීවීන්ට අයත් සිරුරු බව කොංග්‍රසය හමුවේ සඳහන් විය.
කිසිදා නොවූ විරූ මෙම සිදුවීමෙන් එය නැරඹූවන් මෙන් ම මෙක්සිකානු වැසියන් පුදුමයට පත්ව සිටින බව කියැවේ. මෙම මළ සිරුරු ආදර්ශක පෘථිවි භූමියේ පරිණාමයට සම්බන්ධ නොවන බව විශේෂඥයන් විසින් තහවුරු කර ඇත.
UFO හෙවත් හඳුනානොගත් ආකාශ වස්තු සුන්බුන් සමග නොව ඩයට ම හෙවත් ඇල්ගී ආකරවල තිබී පසුව ෆොසිලගත වූ මළ සිරුරු ලෙස මෙම මළ සිරුරු හමු වූ බව එවැනි ආකාශවස්තු පිළිබඳ විශේෂඥයකු (Ufologist) වන මාධ්‍යවේදී ජයිමෙ මවුසන් (Jaime Maussan) මෙක්සිකානු ආණ්ඩුවට සහ අමෙරිකානු නිලධාරීන්ට ඔහුගේ සොයාගැනීම ගැන දිවුරමින් කියා ඇත.
මෙම මළ සිරුරුවලින් ලබාගත් DNA වලින් 30%ක් ම හඳුනානොගත් DNA බව ද මෙම මළ සිරුරුවල එක්ස් – රේ ඡායාරූප ද එහිදී පෙන්වා ඇත. එක් මළසිරුරක අභ්‍යන්තරයේ බිත්තර 3ක් ද තිබී ඇත.