කොළඹ යුද හමුදා රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍ය, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.එස්.එන් ලෝචන ප්‍රනාන්දු කීර්තිමත් යුද හමුදාපතිවරයාගේ ප්‍රශංසා ලාංඡනයෙන් දෙවැනි වරටද පිදුම් ලබා තිබේ. මේ සමග මෙම ලාංඡනයෙන් පිට පිට දෙවරක් පිදුම් ලද එකම නිලධාරීයා ලෙස ලෝචන ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාස පොතට එක්ව තිබේ.
යුද හමුදා සාමාජිකයකුට නිල වශයෙන් පැවරී ඇති කාර්ය භාරයට පරිබාහිරව අනෙකුත් සෑම අංශයකින්ම සිදු කරන දක්ෂතා ඇගයීමට මෙම ලාංඡනය ලබා දෙනු ලැබේ.
74 වැනි යුද හමුදා සංවත්සරයට සමගාමීව පසුගියදා පනාගෙඩ පැවති යුද හමුදා දින සැමරුම් උත්සවයේදී නිලධාරීන් 23 දෙනෙකු සහ සෙසු නිලයින් 20 දෙනෙකු වෙත මෙම ගෞරවනීය ‘යුද හමුදාධිපති ප්‍රශංසා’ලාංඡන ප්රදානය කිරීම සිදුකරන ලදී.
යුද හමුදාපති ජෙනරල් විකුම් ලියනගේ විසින් 2022 වර්ෂයේ පැවැති 73 වැනි යුද හමුදා සංවත්සර දිනයේදී ප්‍රථම වතාවට මෙම කීර්තිමත් ‘යුද හමුදාධිපති ප්‍රශංසා’ලාංඡන පැලදවීම සිදු කළ අතර ලුතිනන් කර්නල් ලෝචන ප්‍රනාන්දු යුද හමුදාපතිවරයා අතින් එම ලාංඡනය පලදවාගත් ප්‍රථම නිලධාරියා ලෙසද හමුදා ඉතිහාසයට එක් විය. එහිදී නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයින් 15 දෙනෙකුටද මෙම ලාංඡනය හිමි විය.
ලුතිනන් කර්නල් ලෝචන ප්‍රනාන්දු දන්ත ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සිදු කරන සේවයට අමතරව රෙජිමේන්තු ගීත, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ගීතය සහ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ ගීතය රචනා කිරීම මගින් රෙජිමේන්තු කිහිපයකට සෞන්දර්යාත්මක දායකත්වය ලබා දීම මෙන්ම විපත්ති හමුවේ වුවද රට තුළ රැඳී සිටීමට පුරවැසියන්ට උත්තේජනයක් සපයනුවස් ‘රට හැර නොයමි’ තේමා ගීතය රචනා කිරීමෙන් වෙහෙස නොබලා සිදු කළ කාර්යභාරය අගයමින් ඔහුට දෙවැනි වරටද ‘යුද හමුදාපති ප්‍රශංසා’ලාංඡනය පිරි නමා ඇත.