Home Local News Room : “විදුලි බල මණ්ඩලයේ සේවකයන් 23,000ට කරන වියදම මුදල් නාස්තියක්”

News Room : “විදුලි බල මණ්ඩලයේ සේවකයන් 23,000ට කරන වියදම මුදල් නාස්තියක්”

2
0

විදුලි බල මණ්ඩලයේ 23,000කට අධික සේවකයන්ගෙන් හා බාහිර ආයතනවලින් සපයා ගන්නා සේවකයන්ගෙන් බලාපොරොත්තු වන කාර්යභාරය සිදු නොවීමෙන් ඔවුන්ට වැය කරන මුදල තනිකර නාස්තියක් බවත් එය අමාත්‍යාංශයට දරාගත නොහැකි බව ත් එහි උසස් නිලධාරියෙකු ඉරිදා ‘මව්බිම‘ට පැවසීය.

මෙතරම් විශාල සේවක පිරිසක් සේවයේ නිරතව සිටියත් ඔවුන්ගේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ද ගැටලු රාශියක් පවතින බව හෙතෙම කීය.

විදුලි බල මණ්ඩලයේ මේ සා විශාල සේවක පිරිසක් නඩත්තු කිරීමට අමාත්‍යාංශය මාසිකව වැය කරන වියදම විදුලි බිල ඉහළ දැමීමට වක්‍රව බලපා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

බොහොමයක් සේවකයන් අවශ්‍ය නොවන ස්ථානවල රාජකාරි කිරීමට අනුයුක්ත කර ඇති බව ත් එවැනි සේවකයන්ගෙන් මණ්ඩලය බලාපොරොත්තු වන රාජකාරි ධාරිතාව ලබාගත නොහැකි බව ත් ඔහු පැවසීය.

සේවයේ නියුතු පිරිස නිසි ආකාරයෙන් යොදා ගන්නේ, නම් අධික සේවක පිරිසක් අවශ්‍ය නොවන බව ත් සේවයේ නිරත 23,000කට අධික සේවකයන් සිටිය ද බොහොමයක් කාර්යයන් සිදු කරනු ලබන්නේ වෙනත් තෙවන පාර්ශ්වයකින් ලබා ගන්නා කාර්ය මණ්ඩලයකින් බව ත් ඔහු සඳහන් කළේ ය.

ආයතනය තුළ සේවකයන් ඕනෑවටත් වඩා සිටින අවස්ථාවක මෙලෙස සෑම වර්ෂයක ම බාහිර ආයතනවලින් සේවකයන් ලබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම විශාල ගැටලුවක් බවත් සෑම මාසයක ම මෙම කාර්ය එයාකාරයෙන් ම වන බව ත් ඔහු පැවසීය.

අමාත්‍යාංශය වියදම් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී උපදෙස් ලබා දී ඇති නමුත් මෙතෙක් අවශ්‍ය පිළියම් යෙදීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළේ ය.

විදුලි බල මණ්ඩලයේ සේවයේ නිරත 23,000ක පමණ සේවකයන්ගේ කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු රාශියක් පවතින බවත් එය වාර්ෂික වියදම් සම්බන්ධයෙන් ගෙන බැලූවිට විශාල බරක් බවත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවැසීය.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අමාත්‍යාංශය දැඩි අවධානයක් යොමුකර ඇති බවත් මේ සඳහා ගත යුතු උපදෙස් සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව ත් හෙතෙම කීය. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ හා වියදම් කළමනාකරණය කිරීම යන කාරණා දෙක ම එකට ඉදිරියට ගෙන යා යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

පසුගිය මාසයේ මේ කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා හා කෙටුම්පත් නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති බව ත් මේ මාසය තුළ එම කටයුතු අවසන් කළ හැකි බවත් ඔහු වැඩිදුරට ත් පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here