අපරාධකරුවෙකු එල්ලා මැරීම තමා අනුමත නොකරන බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හිදී පැවසීය.
යම් අපරාධකරුවෙකු එක් පෑන් ඉරකින් එල්ලා මරනවා ද නැද්ද යන්න තීරණය කිරීම ශිෂ්ටසම්පන්න රටක සිදු නොවිය යුතු බවත් අපරාධ මැඩලීමට නම් රට තුළ කළ යුතු එක ම දේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම පමණක් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.
එවැනි නීතියේ ආධිපත්‍යයක් තහවුරු කළ හැකි එක ම දේශපාලන බලවේගය ජාතික ජන බලවේගය බව ද ඔහු පැවසීය.
ලොස්ඇන්ජලීස්හි පැවති ජනහමුව ඇමතීමෙන් අනතුරුව අනුර දිසානායකගෙන් ශ්‍රී ලාංකිකයෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේ ය.
“කුඩුකාරයෙක් එල්ලන්න ඕනේ කියලා හිතෙන්නේ ඇයි? කුඩු අහුවෙනවා. නිදහස ලබනවා. ඇතුළේ ඉඳන් ආපහු බිස්නස් එක කරනවා. එතකොට හිතෙනවා එල්ලලාවත් මරලා දැම්මොත් හොඳයි කියලා. එල්ලුම්ගහ මාතෘකාව එන්නේ මේක බේරන්න බැරි ප්‍රශ්නයක් නිසා. මෑතක මිලියන හාරදාහක කුඩු අහුවුණා. ඒ කියන්නේ රුපියල් බිලියන 4ක. රුපියල් බිලියන 4ක කුඩු ගේන්න පුළුවන් කාට ද? පොඩි බිස්නස් එකක් නෙවෙයිනේ.
කාට ද ඒ වගේ ව්‍යාපාරයක් කරන්න පුළුවන් ලංකාවේ. බිලියන 4ක බිස්නස් එකක් කරන්න පුළුවන් කුඩා පිරිසකට පමණයි. රුපියල් කෝටි 400ක් කුඩු. සාමාන්‍යයෙන් කුඩු කියන්නේ කන් හැඳි බාගයක් වගේනේ අපි හිතන්නේ. ඉතින් කුඩු ට්‍රැක්ටරයක් වගේ ගේනකොට හිතන්න කොච්චර කන් හැන්දෙන් අයින් කරන්න ඕනෙ ද? කොච්චර ව්‍යසනයක් වෙලා තියෙනව ද? මේ ව්‍යාපාරයට ආරක්ෂාව දෙන්නෙ දේශපාලනය.
දේශපාලන රැකවරණය සහිතව. ඒ නිසා අපි කුඩු පාතාලය ඉතාමත් කෙටි කාලයක් තුළ ලංකාවෙන් තුරන් කරලා දෙන්නම්. ඒ වගේ ම එල්ලුම්ගහ පිළිබඳව නූතන සමාජය සහ අපි කතා කරනවා. අපරාධකාරයෙක් තමයි. හැබැයි කොහොම ද කෙනෙක් මරන්න ඕන කියලා තීරණය කරන්නෙ? එයා ජීවතුන් අතර ඉන්නව ද, නැද්ද කියලා තීරණය කරන්නේ ජනාධිපතිගෙ පෑන් ඉර මත. පෑන් ඉරක් ගහනවා මෙයා මරන්න ඕනෑ කියලා. ඒක සිදුවිය යුතු ද? ඒක යුක්තිසහගත ද? ශිෂ්ට සම්පන්න සමාජයක ඒවා සිදු වෙන්නේ නැහැ. අපිට හිතෙන්න පුළුවන් කුඩා දැරියක දූෂණය කළොත් එල්ලලා මරන්න ඕන කියලා.
නීතියේ විධානයේ ආධිපත්‍ය බිඳිලා, කුඩු වැඩි වෙලා, අපරාධ වැඩිවෙනකොට හිතෙනවා එල්ලලා හරි මරලා මේක බේරන්න ඕනෑ කියලා. මම කියන්නේ එල්ලුම්ගහ ක්‍රියාත්මක කළයුතු නැහැ. හැබැයි අපි හිතනවා නම් මරණ නිසා අපරාධ නතර වෙයි කියලා. කුඩු ගේන්නේ නෑ කියලා අවුරුදු 20ක් හිරේ දානවා කියලා මේවා නතර වෙයි ද? නෑ. කුඩු ගේනවා ඒත්. නීතියේ විධානයේ ආධිපත්‍යයෙන් නිසි ලෙස තහවුරු කිරීමෙන් ම පමණයි අපරාධ නතර කළ හැක්කේ.”