Home Local News Room : ආණ්ඩු පක්ෂ සෑම මන්ත්‍රිවරයෙකුට ම ජනපති කාර්යාලයෙන් ‘ටැක්ස් ෆයිල්’

News Room : ආණ්ඩු පක්ෂ සෑම මන්ත්‍රිවරයෙකුට ම ජනපති කාර්යාලයෙන් ‘ටැක්ස් ෆයිල්’

0
0

වසර අවසන් වීමට පෙර ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් බදු ගොනුවක් විවෘත කිරීමේ ව්‍යාපෘතියක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය මගින් ආරම්භ කර තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ඇති ආදායම් එකතු කිරීමේ අංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරේ.

සියලු ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට කැඳවමින් ඔවුන්ට බදු ලිපිගොනු සකස් කර ගන්නා ආකාරය හා මේ වන විට බදු ගොනු පවත්වාගෙන යන මන්ත්‍රීවරුන්ට ඒවායේ අඩුපාඩු සකස්කර ගන්නා ආකාරය පිළිබඳව ආදායම් එකතු කිරීමේ අංශයේ නිලධාරීන් විසින් උපදෙස් දෙනු ලබයි.

දෙසැම්බර් 30 වන දාට පෙර මෙම බදු ලිපිගොනු පුරවා අවසන් කරන ලෙස ද මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

මෙතෙක් බදු ලිපිගොනු විවෘත කර නොතිබූ මන්ත්‍රීවරුන් තිස් දෙනෙකු පමණ මේ වැඩසටහන යටතේ අලුතින් බදු ලිපිගොනු විවෘත කර තිබෙන බව පාර්ලිමේන්තු ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

එමෙන් ම මේ වන විටත් බදු ලිපි ගොනු පවත්වාගෙන යන අය ඔවුන්ට පවතින ප්‍රශ්න ඉදිරිපත් කොට ඒවා නිරාකරණය කරගෙන ඇත.

ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රිවරුන් නිසි පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම සහ බදු ලිපිගොනුවක් නඩත්තු කිරීම මෙම වැඩසටහනේ බලාපොරොත්තුව බව ද මහාචාර්ය ආශු මාරසිංහ සඳහන් කරයි.

මෙම ක්‍රමය මඟින් සියලු මන්ත්‍රීවරුන්ගේ සැබෑ ආදායම් එළිදරව් වන අතර ඔවුන් නිසි පරිදි ආදායම් බදු ගෙවන පුරවැසියන් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුව බව ද ඔහු සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here