එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138ක් අතුරින් අයිතම 97කට එම බදු පැනවෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (දෙසැ. 10) සහභාගී වෙමිනි.
ඖෂධ, ආබාධිත උපකරණ, හාල් පිටි, තිරිඟු පිටි, එළවළු, පළතුරු, දියර කිරි සහ සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා වැට් අය නොකෙරෙන බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, පෙට්‍රල් සහ ඩීසල් සඳහා වැට් අය කෙරෙන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. එසේ වුව ද බොරතෙල් ලෙස ගෙන එන ඉන්ධන සඳහා මෙම බදු අය නොකෙරෙන බව ඔහු පැවසීය.
මේ අතර, ස්ථාවර දුරකතනවලින් යවනු ලබන කෙටි පණිවිඩ සඳහා ද බදු අය කරගන්නා බව අමාත්‍යවරයා පැවසීය.ඔහු පෙන්වා දුන්නේ, මේ දක්වා බදු අය කෙරුණේ ජංගම දුරකතනවලින් යවන කෙටි පණිවිඩ සඳහා පමණක් බව ය.