ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණු තොග ගබඩාවල රඳවාගෙන සීමිත ප්‍රමාණයක්, රුපියල් 600 බැගින් හෙට සිට විකුණන ලෙසත් තවදුරටත් මිල ඉහළ දමන ලෙසත් ඉන්දියාවේ සිට ලොකු ළූණු එවන ව්‍යාපාරිකයන් දැනුම් දුන් බව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු තොග අලෙවි කරන වෙළෙන්‍දෝ පවසති. ඉන්දියාවෙන් ගෙන්වා ඇති සියලු ලොකු ළූණු තොග අයිතිකරුවන් වන්නේ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් බවත් එම ව්‍යාපාරිකයන් කියන මුදලට පමණක්ම තමන්ට ළූණු අලෙවි කිරීමට සිදුව තිබෙන බවත් ඔවුහු අවධාරණය කරති.
ඒ අනුව, දඹුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු තොග ගබඩාවල විශාල වශයෙන් ළූණු ගබඩා කර වෙළෙඳපළේ ලොකු ළූණු හිඟයක් ඇතිකොට ඉතා ම සූක්ෂ්ම ලෙස ලංකාවේ කිහිප දෙනෙකු සහ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු එක්ව ලොකු ළූණු මිල ඉහළ දමා ජනතාව සූරා කෑමට ලක් කරන මාෆියාවක් ක්‍රියාත්මක වන බව ලොකු ළූණු තොග වෙළෙන්දෝ පවසති. මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසල්වල ලොකු ළූණු අලෙවියට සීමිත ප්‍රමාණයක් පෙන්වමින් ලොකු ළූණු තොග ගබඩාවල කිලෝ ලක්ෂ 5ක් පමණ සඟවා තිබෙන බව ද පෙන්වා දෙති. කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල පාකිස්තානය ඉන්දියාවෙන් සහ තුර්කිය යන රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණු කිලෝවක් රුපියල් 420 සිට 600 දක්වා තොග මිල ගණන් යටතේ අලෙවි කරන බව පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ මෙන්ම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙන් ම අවට ප්‍රදේශවලින් විශාල වශයෙන් තොග ගබඩාවල විදේශ රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණු ගබඩා කර තිබෙන බව ත් ඉතා සූක්ෂ්ම ලෙස හිඟයක් මවා පාමින් විශාල ලාභයක් තබාගෙන අලෙවි කිරීමේ ක්‍රියාවලිය සිදුකරන බව ව්‍යාපාරික එම්.ජී. ෆසිල් සඳහන් කළේ ය.
කෙසේ වෙතත් මෙම ලොකු ළූණු වැඩි මිල ගණන් යටතේ ගෙන්වා නොතිබූ අතර උත්සව සමය ඉලක්ක කරගෙන මෙම ලොකු ළූණු මිල ඉහළ දැමීම ජාවාරමක් කරගෙන යන නිසාවෙන් ජාවාරමට තිත තබන්නැයි එම වෙළෙන්දෝ රජයෙන් ඉල්ලීමක් ද කළහ.
දේශීය ලොකු ළූණු වගාව සම්පූර්ණයෙන් ම අඩපණ කිරීම ජාවාරම සිදු කිරීමට පසුබිම සැකසූ ක්‍රියාවලියක් බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කළේ ය.
මේ වනවිට ඉන්දියාවේ සහ ලංකා ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු එක්ව මුළු රටේ ම ලොකු ළූණු මිල තීන්දු කරමින් මහා පරිමාණ ජාවාරමක් සිදුකරන තුරු ආණ්ඩුව සහ වගකිවයුතු ඇමතිවරුන් නිහඬව බලා සිටින්නේ යම්කිසි වාසිදායක තත්ත්වයක් එම අයට ලැබෙනවා දැයි සැක මතුවන බව වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් දේශීය ලොකු ළූණු වගාව සම්පූර්ණයෙන් ම අඩපණ කිරීම කළ බවට ද නාමල් කරුණාරත්න චෝදනා කරමින් මෙම ලොකු ළූණු සඟවාගෙන අලෙවි කරනය ජාවාරම්කරුවන්ට නිසි දඬුවම් දෙන්නැයි ඔහු රජයෙන් ඉල්ලා සිටියේ ය.
මෙම ලොකු ළූණු තොග සඟවාගෙන සූක්ෂ්ම ලෙස මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානි රේණුක පෙරේරාගෙන් විමසීමේදී කියා සිටියේ එවැනි තොග සඟවා ඇති බවට තමන්ට කිසිදු තොරතුරක් මේ වනතුරු ලැබී නැති බව ය.
විදේශීය ළූණු කොමිස් පිට අලෙවි කරන ප්‍රජාව දැඩිව කියා සිටියේ මේ වන විට ලොකු ළූණු මිල පාලනය කිරීම අතළොස්සක් වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් කරන බව ය.
ඕනෑ තරම් ගබඩාවල සඟවාගෙන ප්‍රසිද්ධියේ මෙය කරන බව ද එම පිරිස දැඩිව චෝදනා කරන්නට විය.
දඹුල්ල අවට පමණක් පිටරටවලින් ගෙන්වූ ලොකු ළූණු කිලෝ ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් සඟවාගෙන ඉතා සූක්ෂ්ම ලෙස අලෙවි කිරීමේ කටයුතු කරන බව ලොකු ළූණු අලෙවි කරන ව්‍යාපාරිකයෙකු වූ ෆසිල් පැවසීය.