Home Local News Room : සුනාමියට 19යි – මව්බිම

News Room : සුනාමියට 19යි – මව්බිම

4
0

මෑත ඉතිහාසයේ අප රටට මුහුණ දෙන්නට සිදු වුණු දරුණු ම ස්වාභාවික ඛේදවාචකය 2004 සුනාමි විපත ය. ඒ රුදුරු විපත සිදු වී හරියටම අදට 19 වසරක් පිරෙයි. මේ අමිහිරි අත්දැකීම යළි යළි සිහිපත් කිරීම සංවේදී කාරණයක් වන නමුදු මේ මොහොතේ වුව ද එය අප සිතින් මුළුමනින් ම බැහැර කරලිය නොහැකි වී තිබේ.

දරුවන්ට පියාත්, පියාට දරුවනුත්, ස්වාමියාට බිරියත්, බිරියට ස්වාමියාත්, පෙම්වතාට පෙම්වතියත්, පෙම්වතියට පෙම්වතාත් අහිමිකර ලූ මේ විපත හා බැඳි දුක්මුසු කතන්දර මේ මොහොතේ වුවද සහමුලින් අමතක කරලනු නොහැකි වී තිබේ. ගණනින් තිස්පන් දහසකට වැඩි තරම් වූ මහා ජනකායක් මේ විපතින් සදහට ම දෙනෙත් වසාගෙන ය. අතුරුදන්ව ගිය ජීවිත ගණන ද පන්දහස ඉක්මවන තරම් ය.

විනාශ වී ගිය දේපොළ ප්‍රමාණය ගණන් බලනු නොහැකි තරම්ය. වියෝ දුක්ගිනි දරාගනු නොහැකිව සිය දිවි හානි කර ගන්නට තැත් කළ අය පිළිබඳ පුවත් ද වරින් වර අසන්නට ලැබිණි. වසරින් වසර මේ ඛේදවාචක ගැන අප යළි යළිත් සිහිපත් කළ යුතු වන්නේ එවැනි තත්ත්ව ගැන කල්තියා දැන ඒවායින් වැළකී සිටින්නට හැකි පසුබිම හා වටපිටාව සකසා ගැනීම උදෙසා ය. මේ සටහන ද ඒ වෙනුවෙනි.

මහ විපත් සිදු වී ටික කලක් ගිය තැන එවැනි විපත් ගැන කල්තබා දැන මැන ගත හැකි සංඥා උපකරණ සකසා ගත් හැටි අපට අමතකව නැත. දැන් වසර 19ක් ගතව ඇති මේ මොහොතේ වාර්තා වන්නේ ඉදිකළ සුනාමි කුලුනු 77කින් 57ක්ම අක්‍රිය වී ඇති බව ය.

සුනාමි විපතින් අප ඉගෙනගත් මිනිස්කම් හා නොමිනිස්කම් පිළිබඳ පාඩම් ද මේ මොහොත වන විට අමතක කර දමා තිබේ.

සුනාමිය සිදු වූ 2004 දෙසැම්බර් 26 දිනය ද පුන් පොහෝ දිනයක්ම විය. අද ද එවැනි ම පුන් පොහෝ දිනකි. විපත සිදුවූ දා ම කල්තබා රටේ ජනතාවට යම් යම් ඉඟිබිඟි පළකොට තිබුණ ද ඒවා ගැන ඒ හැටි ගණන් ගන්නට කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත. සුනාමියට හසුවී මියගිය විදේශ සංචාරකයකුගේ කැමරාවට හසුව තිබූ පරිසර දසුන් රැසකින් පසුව අනාවරණය කරගත හැකි වූයේ මිනිසුන්ටත් වඩා සතුන්ට පරිසරයේ වෙනස්කම් ගැන පෙර දැක්මක් තිබූ බව ය. එදා තලගොයි දෙතුන් දෙනෙකු ම ගස් උඩය. ඇත් රෑනක් මහ හඬි කෑ ගසාගෙන දිව යනු පෙනිණි. මේ යට කී කැමරාවේ පටිගතව තිබූ දසුන් ය. එකල මේ ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.

එවකට බලයේ සිටි චන්ද්‍රිකා රජය ප්‍රකාශ කොට තිබුණේ මුහුදු වෙරළේ සිට කිලෝමීටරයක් තරම් දුරින් කිසි ම නව ඉදිකිරීමක් නොකරන බව ය. එහෙත් කලින් පැවැතියාටත් වඩා දැන් නව ඉදිකිරීම්වලින් වෙරළ තීර සැරසී තිබේ. අවහන්හල් ද ඉදි වී තිබේ. වසර කිහිපයක් ගතවෙත් ම කිසිවක් සිදු නොවුණා සේ මිනිස්සු ජීවත් වෙති. මේ අපේ රටේ හැටිය.

සුනාමියෙන් අප කිසිවකුත් කිසිදු පාඩමක් ඉගෙනගෙන නැත. එසේ ඉගෙන ගත්තා නම් පරිසරය වනසන්නට, මිනිසුන් පෙලඹෙන්නේ නැත. මෑත කාලයේ නාය යන බවට අනතුරු අඟවා තිබියදීත් එම ප්‍රදේශ අත්හැර යන්නට අදි මදි කරමින් සිට විපතට පත්වූ ජනතාව ගැන තොරතුරු වාර්තා වී තිබේ. ළඟ ළඟ ම විපත පෙනි පෙනී තිබියදීත් කිසිදු ගානක් නැතිව සුපුරුදු ලෙස ගම්බිම්වලට පෙම්බැඳ සිටින උදවියට විපතේ තරම වැටහෙන්නේ මරුවා වැටෙනුත් මෙහා පැත්තට පැමිණ අත වනන විට ය.

දේශගුණ, කාලගුණ විපර්යාස වළකා ගැනීම ලෙහෙසි පහසු නැති බව ඇත්තය . එසේ වුවත් ඒ සියල්ලට ම වගකිවයුතු පිරිසකි. ඒ මිනිස්සුය. මිනිසා ස්වාභාවික බලශක්තීන්ගෙන් ප්‍රයෝජන ගනිමින් සිටින මේ යුගයේ ඒ බලශක්තීන් කෙරෙහි දක්වන්නේ යහපත් ආකල්පයක් නොවේ. මේ කාලයේ ලොව පුරා සිදුවෙමින් පවත්නා දේශගුණ විපර්යාස සම්බන්ධව විදග්ධ විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබේ. අප රට ද මේ සම්බන්ධව යම් උනන්දුවක් දක්වයි. එහෙත් වැඩිපුර ම අපට අසන්නට, දකින්නට ලැබෙන්නේ ඒ හා සම්බන්ධ මාධ්‍ය සන්දර්ශන මිසක සක්‍රිය මැදිහත්වීම් නොවේ. වරද ඇත්තේ එතැන ය.

දරුණු විපතකින් පසු මිනිසුන් මානසිකව බිඳවැටීම ඉතිහාසයේ අපට පෙනෙන්නට ඇති ගති ස්වභාවයකි. මේ තත්ත්වය 2019 ඉරිදා පාස්කු ප්‍රහාරයට ද අදාළය. එවැනි විපතකට හේතු ප්‍රත්‍ය පිළිබඳ අවධානය යොමු කිරීම සාධාරණ ය. එහෙත් ඒ මත ම හැපෙමින් ජීවිතයේ ඉදිරි ගමන්මග අඳුරු කර ගැනීම නොකළ යුතුම ය. සුනාමිය සම්බන්ධව වුවද අප අනුගමනය කළයුතු වන්නේ එවැනි ධනාත්මක ප්‍රතිපත්තියකි.

පැමිණි දුක් පැණි රසය යනුවෙන් කියමනකි. එය අප රටේ සිදුවන හැම සංසිද්ධියකට ම අදාළ නොවන බව ද අමතක කළ යුතු නැත. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය නැඟිට ගත්තේ, මුනින්තලා වී කෙඳිරිගාමින් සිටින අතරතුරය. සිදුව තිබූ මහා විනාශයේ අළු මතින් නැඟිටින්නට තරම් ඔවුන්ට ශක්තිය ධෛර්යය ඉතිරිව තිබිණි.

සුනාමියෙන් වසර 19ක් ගෙවී ඇති මේ මොහොතේ අප සිතට ගත යුත්තේ අඳුරු අතීතයට අභියෝගයක් වී සොඳුරු අනාගතයක ‍ෙදාරබියසට ළං වී ඍජුව නැගී සිටින්නට ය. වර්තමානයේදී අප මුහුණ දෙමින් සිටින්නේ ආර්ථිකයේ දරුණු ම සුනාමියට ය. ජීවිත විනාශය කෙසේ වෙතත් දෑත දෙපය හිරි ඇරගෙන අනලස්ව ඉදිරියට යා යුතුව තිබේ. රටේ පාලන අධිකාරිය සුරංගනා කතන්දර කියමින් ජනතාව තවදුරටත් නළව නළවා සිටිය යුතු නැත. වැල් පාලම ගැන හෝ වංකගිරිය ගැන කියන කතන්දරවලින් බිඳුණු ආර්ථිකයට පිළියම් සෙවිය හැකි නොවේ.

සොබාදහමේ විපත් ජය ගන්නට නම් මිනිසුන් එයින් කෘත්‍රිමව ඇති කරනු ලබන අස්වාභාවික විපත් මුලින්ම ජයගත යුතුව තිබේ. ජාතික ආරක්ෂක දිනය ද අදට යෙදී තිබේ. මහ ජනතාවගේ ආරක්ෂාවට බලපාන පාතාල ක්‍රියාකාරකම් මෙන් ම මත්ද්‍රව්‍ය උවදුර ද දැන් තවත් දරුණු සුනාමියක් වී තිබේ. ‘යුක්තිය’ මෙහෙයුම ඒ වෙනුවෙනි. අද දවසේ අප කාගෙ කාගේත් අධිෂ්ඨානය විය යුත්තේ ස්වාභාවික මෙන් ම අස්වාභාවික වූ හැම සුනාමියක් ම ජය ගැනීම ය. මහජන සමගිය ඒ සඳහා ප්‍රබලතම අවශ්‍යතාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here