Home Local News Room : ගුවන් තොටුපොළ වෘත්තීය සමිති නායකයන් 28 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

News Room : ගුවන් තොටුපොළ වෘත්තීය සමිති නායකයන් 28 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

2
0

කටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවූ ‘ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ’ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකුගේ සේවය වහා ම ක්‍රියාත්මක වන පරිදි අද (ජන. 3) දහවල් 12:00 සිට අත්හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කර තිබේ.

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉන්ජිනේරු අතුල ගල්කැටිය අදාළ පුද්ගලයන් වෙත ලිපි මගින් මේ බව දැනුම් දීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලු ම ගුවන් සේවා අවහිර කිරීම සහ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මෙම වෘත්තීය සමිතියේ ලේකම්වරයා ලිපි යවා ඇති බැවින් මෙසේ අනිවාර්ය නිවාඩු ලබා දීමේ තීරණය ගත් බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා යවන ලද ලිපියේ සඳහන් කර ඇත.

සභාපතිවරයා තවදුරට ත් එම ලිපියේ සඳහන් කර ඇත්තේ, එවැනි පියවරක් ගැනීමට මොවුන්ට නීත්‍යනුකුල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බව ත් මෙවැනි විෂමාචාර කටයුත්තක් පිළිබඳව බලපෑම්වලින් තොරව විධිමත්ව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මෙම පිරිස වහා ම බලපැවැත්වෙන පරිදි අනිවාර්ය නිවාඩු ගන්වන බව ත් ය.

මෙම වෘත්තීය සමිති නායකයින් සතු ගුවන් තොටුපොළ ඇතුළු වීමේ අවසර පත් සහ ඔවුන්ගේ සේවය සදහා භාවිත කළ සියලු උපකරණ ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත භාර දිය යුතු බව එම ලිපියේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

එමෙන් ම, මෙම පරීක්ෂණ අවසන් වන තෙක් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළු වීම ද මොවුන්ට තහනම් කර තිබේ.

මෙම වෘත්තීය සමිතියට කටුනායක ගුවන් තොටුපොළ ඇතුළු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අනෙකුත් සියලු ම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, අභ්‍යන්තර ගුවන් තොටුපොළ සහ පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් ද සම්බන්ධ වී සිටින බව ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here