ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ රැස්වීමක් හෙට (ජන. 14) ඉරිදා පෙරවරුවේ සිට කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පැවැත්වීමට නියමිත ය.
මේ සඳහා පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අමෙරිකාවේ සිට සූම් ඔස්සේ සහභාගි වීමට නියමිත ය. පක්ෂයේ ප්‍රධාන පෙළේ තීන්දු තීරණ කිහිපයක් මෙහිදී ගැනීමට නියමිත බව ද දැනගන්නට තිබේ.
ඉදිරි මැතිවරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත. ජනාධිපතිවරණය සහ සෙසු මැතිවරණ පිළිබඳව පක්ෂය ගන්නා මූලික තීන්දු තීරණ ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ය.
දේශපාලනය පිළිබඳ බිම් මට්ටමේ සිට දැනුමක් ඇති පුද්ගලයෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බව ද පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ හා ප්‍රබල මන්ත්‍රීන් පිරිසක් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් පසුගිය දා ඉල්ලීමක් කර ඇත. මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් ද දැනුවත් කිරීමට එම මන්ත්‍රීන් පිරිස කටයුතු කර ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයා ලෙස තේරුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ධූර කාලයට කලින් ඉවත්ව යන්නට සිදුවූයේ බිම් මට්ටමේ දේශපාලනය නොදන්නා පුද්ගලයන්ගේ උපදෙස් පිළිපැදීම නිසා බව ද එවැනි තත්ත්වයක් නැවත තම පක්ෂයට ඇති නොවීමට පක්ෂයේ සියලු දෙනා වගබලා ගත යුතු බව ද මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස ප්‍රකාශ කර තිබේ.
මහාචාර්ය පදවි, විවිධ මහා පරිමාණ අධ්‍යාපන සුදුසුකම් තිබුණ ද රටක දේශපාලනය කිරීමේදී එම තනතුරුවලට වඩා බිම් මට්ටමේ දේශපාලනය පිළිබඳ මනා දැනුමක් අවබෝධයක් තිබිය යුතු බව ද මහාචාර්ය පදවි තිබුණ ද දේශපාලනය පිළිබඳ දැනුමක් නොතිබීම නිසා අසාර්ථක වූ කණ්ඩායමක් ලෙස ‘වියත්මග’ සංවිධානය හැඳින්විය හැකි බව ද මෙම මන්ත්‍රීන් පිරිස පොදුජන පෙරමුණු නායකයා සහ ප්‍රධාන ලේකම්වරයාට ප්‍රකාශ කර ඇත.