Home Local News Room : මුදල් අමාත්‍යංශය ‘කණපිට හරවන්න’ කෝපා කමිටුව යෝජනා කරයි

News Room : මුදල් අමාත්‍යංශය ‘කණපිට හරවන්න’ කෝපා කමිටුව යෝජනා කරයි

1
0

මුදල් අමාත්‍යංශය සම්පූර්ණයෙන් ම ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළ යුතු බවට යෝජනාවක් පසුගිය දා කෝපා කමිටුවට ඉදිරිපත් වී ඇත.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මතුව ඇති ගැටලු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති අතර ජනාධිපතිවරයා හමු වී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේ සූදානමක් ද ඇතැයි වාර්තා වේ.

මෙම වසර (2024) සඳහා වන අය – වැය සකස් කිරීමේදී අදාළ ඇස්තමේන්තු සැකසීම සඳහා මුදල් අමාත්‍යංශය අනෙකුත් ආයතන සමග නිසි සම්බන්ධීකරණයක් සිදු කර නැති බවට ද කරුණු හෙළි විය.

බදු ප්‍රතිපත්තිවල ගැටලු ඇතුළු රටේ ආර්ථිකයට බලපාන ප්‍රධාන කාරණා පිළිබඳව මතුව ඇති ගැටලු 50%කට වැඩි ප්‍රමාණයක් මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති කාරණා නිසා සිදුව ඇති බැවින් එසේ මුදල් අමාත්‍යංශය සම්පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයට ලක් විය යුතු බවට මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.

මුදල් අමාත්‍යංශය හා ඊට අදාළ ආයතන අතර නිසි සම්බන්ධයක් නොමැති වීම නිසා කැසිනෝ සඳහා නියාමකයෙක් පත් කිරීමට කළ නිර්දේශය ද තවම ක්‍රියාත්මක වී නොමැති බවද කෝපා කමිටුවේදී සාකච්ඡා විය. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) පසුගිය දා රැස්වූ අතර ආර්ථිකය හා මූල්‍ය කටයුතු සම්බන්ධ අනෙකුත් කමිටු සභාපතිවරුන් ද මේ සඳහා කැඳවා තිබිණි.

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට එම දෙපාර්තමේන්තුවේ හා මුදල් අමාත්‍යංශයයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට ද මෙහිදී කරුණු ඉදිරිපත් විය.

රාජ්‍ය ආදායමට ඍජුව බලපාන ආයතනවල තොරතුරු තාක්ෂණ පද්ධතිය සංවර්ධනය කිරීමට අදාළව 2016 වසරේ සිට මුදල් අමාත්‍යංශයට යෝජනාවලියක් ඉදිරිපත් කළද 2022 වසරේදීත් එම කටයුත්ත ඉටු වී නැති බවද මෙම කාරක සභාවේදී කරුණු හෙළි විය.

මත්පැන් නිෂ්පාදකයන් බදු ගෙවීම සිදු නොකළ ද සුරාබදු දෙපාර්තමේන්තුව බලපත්‍ර අලුත් කිරීම සිදු කරන නිසා බදු නොගෙවනවා නම් බලපත්‍ර අලුත් නොකරන ලෙසට කෝපා කමිටුව නිර්දේශ කළද මුදල් අමාත්‍යංශ ලේකම්ගේ නිර්දේශයක් ඊට හිමිව නැති බව පවසා සුරාබදු බලපත්‍ර අලුත් කර ඇති බවටද කරුණු අනාවරණය වී ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව පෙනී සිටිය යුත්තේ මත්පැන් හිමියන් වෙනුවෙන් නොව රජය වෙනුවෙන් බව කෝපා කමිටුවේ ප්‍රධානීහු පැවසූහ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තාවකාලික වැට් අංකයක් නිකුත් කිරීම නිසා බහාලුම් විවිධ නම්වලින් ආනයනය කර පසුදින සමාගම වසා දමන බවත් එමගින් රජයට විශාල මුදලක් අහිමි වන බවත් කෝපා කමිටුවට කරුණු ඉදිරිපත් වී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැම්ස් පද්ධතියට අදාළ ගිවිසුම විගණකාධිපතිවරයාට ලබා දී නොමැති බව ද එය විශාල ගැටලුවක් බව ද කෝපා කමිටුව නිර්දේශ කළේ ය.

  • අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here