Home Local News Room : “කෙහෙළියගේ නම පාසලෙනුත් ඉවත් කරන්න”: ලංකා ගුරු සංගමය ඉල්ලයි

News Room : “කෙහෙළියගේ නම පාසලෙනුත් ඉවත් කරන්න”: ලංකා ගුරු සංගමය ඉල්ලයි

2
0

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නමින් මහනුවර දිස්ත්‍රික්කයේ නම් කර තිබෙන පාසලෙහි නම වෙනස් කරන ලෙසට ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.

ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ නමින් පාසලක් නම් නොකරන ලෙසට 1996 වසරේදී නිකුත් කළ චක්‍රලේඛයක සඳහන්ව තිබියදී කුණ්ඩසාල කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය නමින් මෙම පාසල පවත්වාගෙන යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය.

1930 දශකයේ ආරම්භ කර ඇති මෙම විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය ඇතුළුව පාසල් ප්‍රජාවේ විරෝධය මධ්‍යයේ 2012 වසරේ සිට කෙහෙළිය රඹුක්වැල්ල නමින් මුල් නම වෙනස් කර තිබෙන බව ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.

ඉන් පසුව ද පාසල් ප්‍රජාව කෙහෙළිය රඹුක්වැල්ල නම ඉවත් කරන ලෙසට වරින් වර ඉල්ලීම් කර තිබෙන නමුත් ඒවා නොසලකා දේශපාලන බලය උපයෝගි කරගෙන හිටපු ඇමැතිවරයාගේ නමින් පාසල පවත්වාගෙන යන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ නමින් පාසලක් නම් කළ විට එම පුද්ගලයා මිය යාමට පෙර සිදුකරන වැරදි ක්‍රියාවලට අදාළ පාසලේ සිසුන් සමාජය ඉදිරියේ අපහසුතාවට මෙන් ම අවඥාවට ලක්වන බවද ප්‍රධාන ලේකම්වරයා කීවේ ය.

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට විරුද්ධව එල්ලවන චෝදනා හේතුවෙන් මේ වනවිට කුණ්ඩසාල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් ඇතුළු පාසල් ප්‍රජාව බලවත් අපහසුතාවට ලක්ව සිටින බව ද හෙතෙම පැවසීය.

සමාජයට වැරදි ආදර්ශයක් ලබාදී බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකුගේ නමින් චක්‍රලේඛ, උපදෙස්වලට පටහැනිව එම පාසල තවදුරටත් තබාගෙන සිටීම ගැටලුවක් බව ද ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ ය.

මෙවැනි වැරදි සිදුකරන පුද්ගලයන්ගේ නමින් පාසල් පවත්වාගෙන යාමට ඉඩදිය නොහැකි බවත් ජීවත්ව සිටින පුද්ගලයන්ගේ නමින් පාසල් නම් කිරීම වහා ම නතර කළ යුතු බවත් ප්‍රධාන ලේකම්වරයා කීවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here