8
ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සිදු වුවහොත් එම අභියෝගය භාර ගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
දේශය වෙනුවෙන් එක්වන පියවරක් මත පදනම්ව පුළුල් දේශපාලන සන්ධානයක් ඇතිකිරීම අපේක්ෂාව බවත් එහිදී එක්සත් ජනරජ පෙරමුණ කොටස්කරුවකු පමණක් බවත් හෙතෙම කීවේය. පොදු එකඟතා මඟින් දේශපාලන සන්ධානය පවත්වාගෙන යාම අරමුණ බව පැවැසූ ඒ මහතා එහිදී සාමූහික නායකත්වයක් නිර්මාණය කරන බව ද පවසා සිටියේය.
ඒ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ අපේක්ෂකයා තෝරා ගැනීම සිදුවනු ඇතැයි රණවක මහතා පැවැසුවේය. රටේ අර්බුද විසඳීමට ඉදිරිපත්ව ජනාධිපති ධුර අපේක්ෂකයා වෙන්නැයි සාමූහික නායකත්වය ඉල්ලා සිටියහොත් අභියෝගය භාර ගැනීමට සූදානම් බව රණවක මහතා සඳහන් කළේය. ඉතිහාසයේදී සෑමවිටම පොදු අරමුණක් සඳහා කණ්ඩායම්ගත වූ බවත් එහිදී ලැබෙන වගකීම කුමක්ද යන්න තමන්ට අදාළ නොවූ බව රණවක මහතා මෙවර ද පොදු අරමුණක් සඳහා තමන්ගේ දායකත්වය තිබෙන බව පැවැසීය. වඩාත් සුදුසු ඕනෑම ජනාධිපති අපේක්ෂකයකුට තමන්ගේ සහාය හිමිවන බවත් සාමූහිකය සිතන්නේ තමන් එයට සුදුසු ලෙස නම් තමන් එම අභියෝගය භාර ගැනීමට ද සූදානම් බවත් හෙතෙම පැවැසුවේය.
නුවන් කොඩිකාර