19
ජාතික ජන බලවේගය සුපිරිසුදු දේශපාලන සංස්කෘතියක් පිළිබඳ කතා කරන්නේ, දේශපාලනික වශයෙන් ප්‍රතිවාදී අදහස් දක්වන පිරිසට සමාජ මාධ්‍ය ඔස්සේ නිවන් සුව පතමින් නම් ඔවුන්ගේ අවංකත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.
වෙනත් කිසිඳු දේශපාලන පක්ෂයක සාමාජිකයන් ප්‍රතිවාදියාගේ මරණය නොපතන අවස්ථාවක ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් මේ ආකාරයෙන් ප්‍රතිවාදියාට නිවන් සුව පැතීම පිළිබඳ අනුර දිසානායක ඇතුළු පක්ෂ නායකයන් පළ කරන අදහස් දැන ගැනීමට තමන් කැමැති බව ද ඒ මහතා පැවැසුවේය. ඒ මහතා මහනුවර දී මාධ්‍ය හමුවක් කැඳවමින් මෙසේ පැවැසුවේය.
ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් ජාතික ජන බලවේගය ඉතිහාසය පුරා පවත්වාගෙන ආ තමන්ගේ බොහෝ ප්‍රතිපත්ති වෙනස් කරගෙන තිබෙන බවත් එය සාමාන්‍ය මහජනතාවට වැටහෙන බවත් ඔවුන් මාක්ස්වාදී, සමාජවාදී ආකෘතියට සම්බන්ධ ආර්ථික දර්ශනය වෙනස් කර තිබෙන්නේ සැබෑ ලෙස ද යන්න පිළිබඳ අවිශ්වාසයක් පවතින බවත් ඒ මහතා කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි හරිනි අමරසූරිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් කරන ප්‍රකාශ ගත්තම ඔවුන්ගේ දේශපාලන භාවිතය වෙනස් වී ඇති බවක් හැඟෙන බවත් ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව දැඩි විවේචන එල්ල කළ එම කණ්ඩායම අද වන විට ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති වෙනස් වී තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය. ජාතික ජන බලවේගයේ දේශපාලන හා ආර්ථික දර්ශනය ඇතුළු යම් යම් වෙනස්වීම් සිදුව තියෙන්නේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා නම් එයට සුබ පතන බවත් එසේ නොමැතිව මෙය ජනතාව මුළා කර ඡන්ද ලබා ගැනීම පිණිස කරන්න වූ හුදු මායාවක් නම් ඒ සම්බන්ධයෙන් ඇති වන්නේ ජුගුප්සාවක් බවත් මන්ත්‍රීවරයා පැවැසුවේය.
අසේල කුරුළුවංශ