Home Politics News Room : රට ගොඩනඟන්න දේශපාලන පක්ෂවල සාධනීය යෝජනා එක් කර ගන්නවා

News Room : රට ගොඩනඟන්න දේශපාලන පක්ෂවල සාධනීය යෝජනා එක් කර ගන්නවා

0
0

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” යෝජනාවලිය පිළිගැන්වීමේදී ජනපති කියයි

රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට අනෙකුත් දේශපාලන පක්ෂවල සියලු සාධනීය යෝජනා එක් කර ගැනීමට තමා පසුබට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (24) සිදු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කර ගැනීමට පසුගිය දෙවසරක කාලය තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවයි. ප්‍රතිසංස්කරණමය තීන්දු තීරණ සමඟ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනාගේ සහාය ඇතිව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව ද පැවසීය.

දේශපාලන භේදයකින් තොරව රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළකට එක් වන ලෙස තමා සෑම අවස්ථාවකදීම සියලු දේශපාලන පක්ෂ වෙත සිදු කරන විවෘත ආරාධනය ද මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කළේය.

විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන මාසයේදී පැවැත්වෙන සාකච්ඡා සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලට ද සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙහිදී කළ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් කරු පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරු එක්ව සිටියහ.

ශිරෝමි අබයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here