3
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කර ආණ්ඩුවේ ශක්තිය පෙන්වන්න මෙය හොඳ අවස්ථාවක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව පෙරේදා (27) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මේ කමිටුව පැවැත්වූයේ එහි සම සභාපති, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙලෙස ප්‍රකාශ කළේය.
“බැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගත වන්නේ ඔහු පසුගිය කාලයේ කාර්යබහුල කාලයක් ගත කළ නිසයි. බැසිල් මහතා ඉතා ඉක්මනින් ලංකාවට පැමිණෙනවා. මේ වන විටත් ගම්මට්ටමින් අපේ දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔහු ආවහම පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මක කරනවා. පසුගිය දවසක ජනාධිපති මාධ්‍ය ඒකකය පැහැදිලිවම කිව්වා, මේ වසරේ ප්‍රතිපාදන වෙන්කර තියෙන්නේ ජනාධිපතිවරණයට ලබන වසරේ මුදල් වෙන් කර තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට කියලා. ජාතික මැතිවරණ දෙකක් එන වසර දෙකක්. රටේ ජනතාවට තීන්දු තීරණ ගැනීමට හොඳම අවස්ථාවක්. ව්‍යවස්ථාවෙන් පිට කිසිම වෙලාවක මැතිවරණ කල්දාන්න අපි කටයුතු කරන්නේ නෑ.
මැතිවරණ කලින් තියන්නත් පුළුවන්. වේලාවට තියන්නත් පුළුවන්. රටේ ජනතාවත් ඒ එන විදියට කටයුතු කරයි. කලින් තිබ්බත් හොඳයි. වෙලාවට තිබ්බත් හොඳයි. ව්‍යවස්ථාවට පිටින් කරන්නේ නෑ කියලයි අපි කියන්නේ.
ඡන්දයක් නැතුව දැනට දිනල ඉන්නෙ ෆේස්බුක් ජනාධිපති සහ කයිවාරු ජනාධිපති විතරයි. හැබැයි ඡන්දයෙන් දිනලා ජනාධිපති වෙන්නේ රනිල්. මේ රටේ මිනිස්සු තේරුම් අරන් ඉන්නවා රටේ අර්බුදකාරී තත්ත්වයේදී අභියෝග භාර ගත් නායකයා කවුද කියලා. ඒ අනුව රටේ මිනිසුන්ගේ ඉල්ලීම තමයි රටේ මතවාදය වෙන්නේ. ඉතිහාසයේ ඉඳන් මිනිස්සු ජනාධිපතිවරණයකදී ඡන්දය පාවිච්චි කළේ ප්‍රධාන ගැටලුවක් මුල් කරගෙන. මහින්ද මහත්තයා ගෙනාවේ යුද්ධය අවසන් කරන්න. මහින්ද මහත්තයා ඒක කළා. මහින්ද මහත්තයාට දෙවැනි අවස්ථාවේදී මිනිස්සු කිව්වේ රට සංවර්ධන කරන්න කියලා. ඒකත් කළා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෙනාවේ යහපාලනය ඇති කරන්න කියලා. ඒක වුණා ද නැද්ද කියලා මේ රටේ මිනිස්සු තීන්දු කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙනාවේ ජාතික ආරක්ෂාව ඇති කරන්න. ඒකත් වුණා ද නැද්ද කියලා මිනිස්සු තීන්දු කරයි. මේ වෙලාව තියෙන්නේ ආර්ථික අර්බුදයක්. මේ සිස්ටම් එක වෙනස් කරන්නත්, ඒක කියලා කරලා පෙන්නපු නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ හින්දා තමයි මිනිසුන්ගේ මතය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට තවත් අවස්ථාවක් දිය යුතුයි කියලා.
ජාතික ජන බලවේගය කියන්නේ සෙනඟ පෙන්නලා කරන නාට්‍යයක් විතරයි. ඒ කියන තරම්ම රැල්ලක් නැති බව තේරුම් ගන්න. ලක්ෂ 5 ලක්ෂ 50කින් වැඩි වෙන්න සියයට 1000කින් වැඩි වෙන්න ඕනේ. එහෙම දේශපාලන ඉතිහාසයේ ගත්ත කෙනෙකුත් නෑ. මිනිස්සුන්ට ජනතා විමුක්ති පෙරමුණ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අයට ඕනේ ගහලා මරලා හරි බලය ගන්න. බලය වෙනුවෙන් ඊට වඩා මර්දනයක් ඔවුන්ට කරන්න පුළුවන්. ලාල් කාන්ත කිව්වා බලය ලැබුණම මර්දනය කරනවා කියලා. සාමකාමීව ජීවත්වන මිනිස්සු කවදාවත් ජනතා විමුක්ති පෙරමුණට බලය දෙන්නේ නෑ.
රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලයි ද නැද්ද කියලත් අපි දන්නේ නෑ. පොදුජන පෙරමුණ තමයි රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අගමැති කළෙත් ජනාධිපති කළෙත්. ඔහු ඒ කාර්යය භාරය හරි හැටි කළා කියලා මිනිස්සු පිළි අරන් තියෙනවා. ඒ නිසා මම හිතනවා පොහොට්ටුව පක්ෂයක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා එනවා නම් හොඳයි. ස්වාධීනව අපේක්ෂයෙක් විදියට එනවා නම් තවත් හොඳයි. එවිට අපිට බය නැතිව පැහැදිලිව වැඩ කරන්න පුළුවන්. පක්ෂයේ තීන්දුව මම දන්නේ නෑ. මම කියන්නේ මගේ මතය.”
උපාලි කරුණාරත්න