15
“අපේ දරුවන් එක්ක එකතුවෙලා ගාසා තීරයේ දරුවන්ට උදව් කිරීම ලෝක දේශපාලනයත් එක්ක අපි කරන අලුත් ගනුදෙනුවක් විදිහට හඳුන්වන්න පුළුවන්” යැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ මහතා පැවැසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පෙරේදා (27) පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“ඉදිරියේ එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් ගාසා තීරයේ අසරණභාවයට පත්වෙලා ඉන්න දරුවන් සම්බන්ධ ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා children of gasa fun කියන වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියනයක ආධාර දෙන්න බලාපොරොත්තු වෙනවා. සමහර කෙනෙක් මේ පිළිබඳව අර්ථ දක්වන්නට පුළුවන් එවැනි ආධාරයක් දෙන තැනකට රට ගිහිල්ල ද කියලා. නමුත් අපි වැටුණු වෙලාවේ අපට ආධාර දෙනවා නම්, අපට උදව් දෙනවා නම්, අපේ රටේ ජනතාව පෙරළා ප්‍රතිඋපකාර කරනවා. ඒ නිසා අපේ දරුවන් එක්ක එකතුවෙලා ගාසා තීරයේ දරුවන්ට උදව් කිරීම ලෝක දේශපාලනයත් එක්ක අපි කරන ගනුදෙනුවක් විදිහට හඳුන්වන්න පුළුවන්.
පාරම්පරික වෛද්‍යවරුන් දවසකට දහ දාහකට වැඩි පිරිසකට බෙහෙත් කරනවා. ඔවුන්ට නිසි ගෞරවය දෙන්නෙත් නෑ. යූනානිවලට වෙනම වෛද්‍ය සභාවක් තිබෙනවා. හෝමියෝ ප්‍රතිකාරවලට වෙනම වෛද්‍ය සභාවක් තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට වෙනම වෛද්‍ය සභාවක් තිබුණට මේ දේශීය වෛද්‍යවරුන්ට වෙනම වෛද්‍ය සභාවක් බිහිවෙන්නෙත් නෑ. බිහි කරන්න දෙන්නෙත් නැති ප්‍රශ්නයක් මතු වෙලා තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධව ඉදිරියේදී ජනාධිපතිවරයා එක්කත් සාකච්ඡා කර දේශීය පාරම්පරික වෛද්‍යවරුන් වෙනුවෙන් වෛද්‍ය සභාවක් නිර්මාණය කර ඔවුන් බලගන්වන්න අපි සූදානම්.
වසන්ත සමරසිංහගෙන් මම ඇහුවා එතුමා කරල තියෙන රස්සාවක් කියන්න කියලා. මම මහජන බැංකුවේ පිළිගැනීමේ නිලධාරියාගේ ඉඳන් කරන්ට් එකවුන්ටන්ට් දක්වා වැඩ කරල තියෙනවා කියලා කිව්වා. නමුත් හොයලා බැලුවාම මහජන බැංකුව කැබිතිගොල්ලෑව ශාඛාවේ පුහුණු වෙන නිලධාරියෙක් විදියට වැඩ කර තියෙනවා. එහෙම බොරුකාරයන්ට ද ලංකාවේ මුදල් ඇමැතිකම දෙන්න කියන්නේ. වසන්ත සමරසිංහ මුදල් ඇමැතිවරයා සහ රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා සංසන්දනය කරබලන්න ඔබට පුළුවන්. වසන්ත, සුනිල් හඳුන්නෙත්ති වගේ තවත් නම් කිහිපයක් ඔවුන්ගේ කැබිනට් තනතුරු විදිහට ප්‍රකාශයට පත් කර තිබෙනවා. හැට හැත්තෑදාහක ජනතාවක් ඝාතනය කළ, මිලියන 200 ගානකට වඩා දේපළ විනාශ කළ පක්ෂයකට ද මේ රට හදන්න පුළුවන් කියලා කියන්නේ. තමන්ට ලැබුණු විද්‍යුත් සන්නිවේදන අයිතියත් විකුණපු පක්ෂයක් තමයි මේ කතා කරන්නේ. රූපවාහිනී ලයිසන් හම්බුණ ඒවා විකුණා ගත්තා. පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහත්තයාට කටවුට් ගැන කියලා අනුර කුමාර දිසානායක විවිධ විවේචනය කර තිබ්බා. දැන් කටවුට් ගහන්නේ කවුද. දැන් කාගෙන් ද සල්ලි එන්නේ අමෙරිකන් එම්බසියෙන් ද. වෙනත් රටකින් ද කොහෙන් ද කියන එක දැන් ඔන්න ප්‍රශ්න කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණේ ඇයි කියලත් ජනතාවට අහන්න පුළුවන්.”
ශිරෝමි අබයසිංහ සහ මැද කොළඹ සමූහ