Home Local News Room : දේශබන්දු වැඩ භාර ගනී – මව්බිම

News Room : දේශබන්දු වැඩ භාර ගනී – මව්බිම

0
0

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 36 වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (පෙබ. 29) උදෑසන 8:00ට පොලිස්පති ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේ ය.

ඒ, පොලිස් මූලස්ථානයේ පොලිස්පතිවරයාගේ නිල කාර්යාලයේදී ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙරට 36 වන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය දා පත්කරනු ලැබී ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ(1) හා 61ඉ(ආ) ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවැරී ඇති බලතල යටතේ මෙම පත් කිරීම සිදු කර තිබිණි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති කාර්යාලයේදී පෙබ. 26 පස්වරුවේ තෙන්නකෝන් මහතාට පිළිගන්වා තිබිණි.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම පත්කිරීම සිදුකර තිබේ.

ජනාධිපතිවරයා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සාගර කාරියවසම්, නිමල් සිරිපාල ද සිල්වා සහ වෛද්‍ය අනුලා විජේසුන්දර පක්ෂව ඡන්දය ලබා දී තිබිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබීර් හෂීම් මන්ත්‍රීවරයා එම යෝජනාවට විරුද්ධව ඡන්දය දී තිබිණි. ආචාර්ය දිනේෂා සමරරත්න සහ ආචාර්ය ප්‍රතාප් රාමනුජන් ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙන අතර කතානායකවරයා තීරක ඡන්දය පක්ෂව පාවිච්චි කිරීමෙන් යෝජනාව ස්ථීර කර ඇත.

වර්ෂ 1998.02.23දී පොලිස් සේවය වෙත එක්වූ නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 2019.11.20 දින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම් ලැබීය.

සහකාර පොලිස් අධිකාරිවරයෙකු වශයෙන් පොලිස් සේවයට බැඳුණු තෙන්නකෝන් මහතා, දිවයිනේ විවිධ දිස්ත්‍රික් භාරව කටයුතු කර ඇත. මිරිහානේ පිහිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ සිට නුගේගොඩ පොලිස් කොට්ඨාසය සිසාරා ප්‍රජා පොලිස් ඒකක පිහිටුවමින් එවකට පොලිස්පති වික්ටර් පෙරේරාගේ සංකල්පයක් මත පොලිස් සේවයට එක්වූ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ව්‍යාප්ත කළේ ය.

වර්ෂ 2011-2015 මාතර පොලිස් කොට්ඨාසය ස්වර්ණමය කරමින්, වර්ෂ 2015දී සිය නියෝජ්‍ය පොලිස්පති උසස්වීම ලබන්නේ වන්නි දිසාව භාරව ය. වර්ෂ 2019.11.29 දින, රාජකාරි ආවරණ පදනමින් වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස්වීම් ලබන දේශබන්දු තෙන්නකෝන් මහතා, 2019.12.05 දින බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලබයි.

කොළඹ ආරක්ෂාව සඳහා සහ පාතාල අපරාධ ක්‍රියා මර්දනය සඳහා ආරක්ෂක ‘Security Eye’ නමැති සංකල්පය හඳුන්වාදෙනු ලැබුවේ තෙන්නකෝන් මහතා විසින්ය.

එමෙන් ම පාතාල ලෝකයේ දරුණු අපරාධකරුවන් මර්දනය කිරීම, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු අපරාධ මර්දනය කිරීමේලා මහඟු සේවයක් කර ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා මහජන ආරක්ෂක කමිටු පිහිටුවා පොලිසිය සහ මහජනතාව අතර සම්බන්ධයක් ගොඩනැගීමට ද කටයුතු කළේය.

2020 වර්ෂයේ මුල් භාගයේ ඇරඹි කොවිඩ් -19 වසංගතය හමුවේ බස්නාහිර පළාත තුළ සෞඛ්‍ය ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දීර්ඝ කාලයක් තිස්සේ නිවෙස්වලට කොටුවී සිටි ජනතාවට ආහාරපාන ඇතුළු අනකුත් පහසුකම් සපයමින් ව්‍යසන ව්‍යාප්තිය පාලනය කිරීමට මහඟු සේවයක් ඉටු කිරීමට දේශබන්දු තෙන්නකෝන් මහතාට හැකි විය.

එමෙන් ම කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලසුම් සකස් කිරීම, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක පාතාල කල්ලි මර්දනය මෙන් ම මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමට දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරන තෙන්නකෝන් මහතා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ‘සවිය’ නම් වූ ප්‍රජා මූල වැඩසටහන ද ඉතා ම සාර්ථකව ක්‍රියාත්මක කළේය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ මර්දනයේදී කළ මැදිහත්වීම කැපී පෙනෙන අංශයකි.

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා ආරක්ෂක හමුදා ද ඒකාබද්ධ කර ගනිමින් දියත් කළ විශේෂ මෙහෙයුම් නිසා මත්ද්‍රව්‍ය මාෆියාවේ සැලකිය යුතු මහ මොළකරුවන් පිරිසක් ආසන්න කාලයේදී පොලිස් අත්අඩංගුවට පත්විණි.

එසේ ම, කොවිඩ් – 19 වසංගත සමයේදී ජාතික ප්‍රවාහන සේවා බිඳවැටී මහජන සේවාවලට බාධා පැමිණි අවස්ථාවේදී ඒවා යථාවත් කිරීමට දේශබන්දු තෙන්නකෝන් මහතා මැදිහත් වී සකස් කළ වැඩපිළිවෙළ එකල බොහෝ පිරිසකගේ ප්‍රශංසාවට ද ලක්විය. දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු මෙන් ම කොළඹ නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here