21
කථානායකවරයකුට විරුද්ධව ඉදිරිපත් වන ප්‍රථම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට පෙරේදා (05) ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය. කොළඹ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. විපක්ෂයේ සියලු දෙනාගේ සහයෝගය මත කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවත් කථානායක ඉතිහාසය අලුත් කරමින් එය ඉදිරිපත් කරන බවත් ඒ මහතා කියා සිටියේය. කථානායකවරයාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ සියලු කණ්ඩායම් එක මතයක සිටී බව පැවැසු හෙතෙම එය සුවිශේෂී අවස්ථාවක් බව පැවැසීය. ව්‍යවස්ථා සභාව රැස්වී පොලිස්පතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේ දී කථානායකවරයා ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාට ලිපියක් මාර්ගයෙන් බවත් දැනට තොරතුරු මගින් හෙළිදරව් වන බවත් පීරිස් මහතා සඳහන් කළේය.
කථානායකවරයා ව්‍යවස්ථා සභාවේ ගරුත්වය හා ක්‍රමවේදය සම්පූර්ණයෙන් උඩුයටිකුරු කර ඇති බව පැවැසූ මහාචාර්යවරයා කථානායකවරයා මාර්ගගත ආරක්ෂණ පනත සම්මත කර ගැනීමේ දී කථානායකවරයකු සතු කාර්යය හිතාමතා මඟහැර ඇති බව පැවැසීය. කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිගින් දිගට ම උල්ලංඝනය කිරීම වහා නතර කළ යුතු බවත් ආණ්ඩුව ගෙන එන අණපනත් සම්මත කර ගැනීමේ දී කථානායකවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා කීවේය.
කථානායකවරයාට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ විවාදයට ගත යුතු බව පැවැසූ ඒ මහතා ඒ සඳහා ආණ්ඩුවට බලකරන බව කියා සිටියේය.
නුවන් කොඩිකාර