13
වනජීවී හානි කළමනාකරණය සඳහා රට තුළ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය.
වන සතුන්ගෙන් කෘෂිකර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම පිළිබඳ කල් තබන යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.
“හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයෙන් මම තොරතුරු ලබා ගත්තා. මෙරට සිදු වන වගා හානි සම්බන්ධයෙන් එම ආයතනයේ නිලධාරිනී රේණුකා වීරක්කොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමීක්ෂණය කර තිබෙනවා. කෘෂිකර්මාන්ත ඇමැතිවරයාගේ උපදෙස් අනුව මෙම සමීක්ෂණය කර තිබෙනවා. මෙරට මිලියන 107ක් පොල් ගෙඩි වාර්ෂිකව අහිමි වෙනවා. රුපියල් 120ක් පොල් ගෙඩියක වටිනාකම ලෙස බැලුවොත් වාර්ෂිකව රුපියල් බිලියන 12ක් අහිමි වෙනවා. 2022 වර්ෂයේදී පමණක් පළමු කාර්තුවේදී මිලියන 93ක් හානි වෙලා තිබෙනවා. භෝග 27ක් ගැන මේ පර්යේෂණය සිදු කර තිබෙනවා. එහි පාඩුව බිලියන 30ක් ලෙස ගණනය කර තිබෙනවා. කෘෂිකර්ම උපදේශන කාරක සභාවේ දී මේ ගැටලුව කතා කළා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් එහිදීත් දත්ත වාර්තා ඉදිරිපත් කළා. ඒ දත්ත, සංඛ්‍යා ලේඛන අනුව අපි ගත් විසඳුම් මොනවාද කියන එක ගැටලුවක්. මේ සංඛ්‍යා ලේඛන හැමදාම ඉදිරිපත් කර කර ඉඳලා වැඩක් නැහැ. දවසින් දවස කෘෂි ආර්ථිකයට එකතු වන මුදල් අපට අහිමි වෙනවා. රාජ්‍ය නොවන සංවිධාන සතුන් සුරැකීම සම්බන්ධයෙන් කතා කරනවා. එය වැරදි නැහැ. නමුත් කෘෂි ආර්ථිකය වන සතුන්ගෙන් ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් අපි යොමු කළ යුතුයි. රටට නොගැළපෙන අණපනත් සම්මත කර ගැනීම තුළින් මෙවැනි තත්ත්වයන්ට අපිට මුහුණ දීමට සිදුව තිබෙනවා. වන සතුන් පාලනය සිදු කිරීමෙන් ගොවි ජනතාවට සහනයක් ලබා දිය හැකියි. මේ ගැටලුව වන සංරක්ෂණ ගැටලුවක් පමණක් නොවේ. එය කෘෂිකර්මාන්ත ඇමැතිවරයාටත් ගැටලුවක්.