8
ජනතා විශ්වාසය මත ගොඩනැඟුණු දේශපාලන ව්‍යාපාරයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යම් අයෙක් චෝදනා කරන්නේ නම් දෙවරක් සිතන්නයැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කරයි.
මේ රට වර්තමානයේ තිබෙන තත්ත්වයට පත්වීමට හේතුව වී තිබෙන්නේ පසුගිය පාලන කාලයේ ගන්නා තීන්දු තිරණ සහ පසුගිය කාලයේ කළ දූෂණ, වැරදී තීන්දු යනුවෙන් සමාජගත කිරීමට විපක්ෂ නායකවරයා උත්සාහ කරන බව පෙන්වා දෙන ඒ මහතා විපක්ෂ නායකවරයා ඇමැතිවරයකු වශයෙන් සිටිය දී සංස්කෘතික අරමුදල අවභාවිත කළ බව ද ඒවා සියලු තැන්වල ඔප්පු වී තිබෙන බව ද පෙන්වා දෙයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පෙරේදා (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා මෙසේද පැවැසීය.
“පහුගිය දවස්වල විපක්ෂ නායක දිගින් දිගටම මේ රට බංකොලොත් වෙන්න, මේ රට වර්තමානයේ තිබෙන තත්ත්වය පත්වෙන්න හේතුවක් වෙලා තිබෙන්නේ පහුගිය පාලන කාලයේ ගත් තීන්දු තීරණ සහ පහුගිය කාලයේ කළ දූෂණ, වැරදි තීන්දු කියන එක සමාජගත කරන්න උත්සාහ කරනවා. පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිටත්, ආණ්ඩු පක්ෂයටත් එතුමා ඒ චෝදනාව කළා. සදාචාරයක් ඇතිව, මම දන්නේ නැහැ ඒ චෝදනාව කරන්න පුළුවන් ද කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ආණ්ඩුව ඇතුළේ කටයුතු කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය වෙන්නේ ජනතා විශ්වාසය මතයි. 2015 – 2019 කාලවකවානුවේ සජිත් ප්‍රේමදාස මහතා හිටපු ආණ්ඩුවත්, අද වෙනම සන්ධාන බවට පත්වෙන්න කටයුතු කරන ඇතැම් ආණ්ඩුව ඇතුළේ ඉන්න ඇමැතිවරු, ආණ්ඩුවෙන් පිටත ස්වාධීනයි කියලා කටයුතු කරන පිරිසත් ගත්තු ක්‍රියාමාර්ග නිසා තමයි සියයට 6 ට,7 ට තිබුණු ආර්ථිකය සියයට 3කටත් අඩු අගයකට ගෙනත් තියන්න සිදුවුණේ.
විශේෂයෙන්ම ඒ අවස්ථාවේ ජාතික ආරක්ෂාව තර්ජනයට පත්වී තිබුණා. මේ සියලු කාරණා ඇතුළේ විපක්ෂ නායකවරයා එතුමාගේ අමාත්‍යාංශ අවභාවිත කළා. එතුමා සංස්කෘතික අරමුදල අවභාවිත කෙරුවා. ඒවා සියලු තැන්වල ඔප්පු වී තිබෙනවා. එතුමා දැන් ඇවිත් දූෂණය, නාස්තිය ගැන කතා කරනවා. එතුමා කරපු නාස්තියේ ප්‍රමාණය ගැන අපි අභියෝග කරනවා. එතුමා පහුගිය වැය ශීර්ෂ දෙක තුන තුළදීම පාර්ලිමේන්තුව මඟ ඇරලා ගියා. එතුමා උත්තරීතර පාර්ලිමේන්තුව මඟ අරිමින් ඒ වගේම උත්තරීතර පාර්ලිමේන්තුව භාවිත කරමින් ජනතාවට වෙනත් වැරදි ප්‍රවෘත්තියක්, ප්‍රචාරයක් ගෙනියන්න උත්සහ කරනවා. ඒ නිසා අපි අභියෝග කරනවා, ආරාධනා කරනවා එතුමාට විවෘත සංවාදයකට එන්න ඔබතුමා කරපු අමාත්‍යාංශවල අකාර්යක්ෂමතාව අපිට කියන්න. එතුමා සේවකයන් බඳවා ගැනීම තුළ කරපු නීතිවිරෝධි ක්‍රියාපටිපාටිය අපි කවුරුත් දන්නවා. මේ විදිහට තමයි 2015 – 2019 කාලවල අමාත්‍යාංශ අවභාවිත කළේ.
ඒකෙන් තමයි නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය කඩාගෙන වැටුණේ. ඉංජිනේරු සංස්ථාව, සංස්කෘතික අරමුදල කඩාගෙන වැටුණේ. මෙහෙම කරපු මනුස්සයෙක් දැන් රට හදන්න යෝජනා කරනවා. දිස්ත්‍රික් නායකයෙක් විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එතුමා කටයුතු කළා. හම්බන්තොට වරාය විකුණුවා. හම්බන්තොට වරාය විකුණද්දි දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ රැකියා නැතිව යනවා. මෙය විකුණන්න එපා කියා එවක ජනාධිපතිට යෝජනාවක්වත් කරන්න තිබුණා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට චෝදනා කරනවා නම් දෙපාරක් හිතන්න.
අපි විශ්වාසය මත ගොඩනැගුණු දේශපාලන ව්‍යාපාරයක්. දේශපාලන පක්ෂයක්, එය මහින්ද රාජපක්ෂ මහතා 2005 යුද්ධය අවසන් කරපු තැන ඉඳලා කරපු අසීමිත සංවර්ධන කටයුතු ගණනාවක්, සෑමදේම ආවරණය වන විදිහට මේ රට මේ තත්ත්වයට සංවර්ධනය කරපු නිසා තමයි මේ කඩාවැටීමත් එක්ක කෙටිකාලයකින් අපට නැවත යථා තත්ත්වයට රටගෙන එන්න පුළුවන් මාර්ගය ගැන කතා කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ නිසා එතුමා මේ චෝදනා කරද්දි දෙපාරක් හිතන්න ඕනෑ. යම් යම් තැන්වල එළියේ සන්ධාන සංවිධාන හදන කණ්ඩායමකුත් ඒ වගේ කණ්ඩායම් ගණනාවකුත් ඉන්නවා. ඒ පිරිස ප්‍රතිවාදීන් විදිහට කෙසේ වෙතත් විරුද්ධවාදීන් විදිහට අපි දකිනවා. ඒ සියලුදෙනාට උත්තරයක් දෙන්න තමයි මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි සංවිධාන කටයුතු කරගෙන යන්නේ. මේ අවස්ථාවේ පක්ෂය තීන්දු කරන කෙනා තමයි අනිවාර්යයෙන්ම ඉදිරිපත් විය යුත්තේ.
මම කිසිම අවස්ථාවක පෞද්ගලික මත දේශපාලනයේ දී ඉදිරිපත් කරන්න සූදානම් නැහැ.
මට දේශපාලනයේ දී පෞද්ගලික මතයක් නැහැ. මම දේශපාලනය කරන්නේ පක්ෂයක් එක්ක. කවුරුත් දැනගන්න ඕන දේශපාලනයේ දී පෞද්ගලික මත නොදරා දේශපාලන මතයත් එක්ක යන්න. ඒ නිසා මේක වැදගත් පක්ෂයක්. මේ වැදගත් පක්ෂය තුළ ඉඳගෙන පෞද්ගලික මත දරන එක ගැන මම විරුද්ධයි. ඒ නිසා මම පක්ෂය වෙනුවෙන් තමයි ඕනම අවස්ථාවක කටයුතු කරන්නේ.
මහින්ද අලුත්ගෙදර